Friday, January 6, 2012

යථාර්තය යනු කුමක්ද.. ? – 2 – The Grand Design ග්‍රන්ථය ඇසුරෙන් – ස්ටීවන් හොව්කින්ග් සහ ලියොනාර්ඩ් ම්ලොඩිනොව්


( අද එතැන් සිට…)
ඉතාම ආන්තිකව යථාර්තවාදයෙහි ගැලී ඉන්නා පිරිස් ගෙනහැර පාන තර්කය වන්නේ විද්‍යාත්මක සිද්ධාන්තයන් එහි සාර්ථකත්වය තුළ යථාවාදී වන බවය…නමුත් මෙතනත් යම් ගැටළුවක් පවතී…එකම ප්‍රපංචය ( විද්‍යාමාන වන දෙය … ගෝචර වන දෙය ), විෂම සංකල්පික රාමු හරහා, සාර්ථකව විග්‍රහ කිරීමට විවිධ සිද්ධාන්තයන්ට සාර්ථකව හැකියාව ලැබී ඇත…එවැනි අවස්ථාවක අපි “යථාවාදී” විද්‍යාත්මක සිද්ධාන්තය ලෙස ගන්නේ කුමක්ද…?..ඇත්ත වශයෙන්ම සාර්ථක ලෙස ඔප්පු කරවන ලද බොහෝ විද්‍යාත්මක සිද්ධාන්තයන් පසු කළෙක, ඒවාටත් වඩා සාර්ථක විද්‍යාත්මක න්‍යායන් විසින් ඉවත් කර දමන ලදී…
සාම්ප්‍රදායිකව යථාර්තවාදය පිළිනොගත් පුද්ගලයන් “යථාර්ත – විරෝධීන්” ලෙස හැඳින් වූහ…යථාර්ත-විරෝධීන් අනුභූතික දැනුමේ සහ සෛද්ධාන්තික දැනුමේ විශාල වෙනසක් දකිති…ඔවුන් තර්ක කරන්නේ, නිරීක්ෂණය සහ පරීක්ෂණය ඉතාම තේරුම් සහිත වුවත්, සිද්ධාන්තද ඒ තරමටම නිරීක්ෂණයන්ට යටින් සැඟවී ඇති ගැඹුරු කරුණු කාරණා එළිදරව් කර ගැනීමට වැදගත් බවය…
ඇතැම් යථාර්ත- විරෝධීන් විද්‍යාව නිරීක්ෂණයන්ට පමණක් සීමා කරන ලෙස යෝජනා කරන තරමට ආන්තික වූහ…මේ කරුණ නිසා 19 වැනි සියවසේ විසූ බොහෝ දෙනෙකු “පරමාණුව” නම් සංකල්පය, අප කිසිදු දිනක එය නොදකිනු ඇත, යන්න මත පදනම්ව ප්‍රතික්ෂේප කරන ලදී… ( පසු කළෙක් පරමාණු නිරීක්ෂණයට තාක්ෂණික පහසුකම් ලැබිණි…) “ජෝර්ජ් බර්කෙලි” ( 1685 – 1753 ) නම් විද්වතා මනස සහ එහි අදහස් හැර අන් කිසිවක් නොපවතින බව කියන තරම් දුරකට ගියේය…බර්කලිගේ මෙම තර්කය ඛණ්ඩනය කළ නොහැක්කක් බව, යම් මිතුරෙකු විසින් ආචාර්ය සැමුවෙල් ජොන්සන් නම් ඉංග්‍රීසි ජාතික ලේඛකයාට ( 1709 – 1784 ) කියන ලද විටක, ආචාර්ය ජොන්සන් එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ විශාල ගලක් වෙත ගොස් ඊට පා පහරක් දී, “එනයින් මම එය ඛණ්ඩනය කරමි” යනුවෙන් කියමිනි…( පරිවර්තකගෙන් : ගලක පාදය ගැටීමේදී ආචාර්ය ජොන්සන්ට වේදනාවක් දැනේ..එනයින් මනස සහ එහි සිතුවිලි වලට පරිබාහිර වූ දෙයක් ඇත යන්න ඒත්තු ගැන්විය හැකි යැයි ඔහු සිතන්නට ඇත…)..සත්තකින්ම ජොන්සන්ට ඔහුගේ පාදයට දැනුණු වේදනාවද ඔහුගේ මනසේ මැවුණු අදහසක් නිසා ඔහු ඇත්ත වශයෙන්ම බර්කෙලිගේ අදහස ඛණ්ඩනය කරේ නැතැයි අපට කිව හැක…නමුත් ඔහුගේ ක්‍රියාව ඉන් පසු කළක පැමිණි මහා දාර්ශණික ඩේවිඩ් හියුම් ( 1711-1776) ගේ දැක්ම වඩා හොඳින් විග්‍රහ කරයි…ඩෙවිඩ් හියුම් මෙසේ සඳහන් කරන ලදී…” අපිට වාස්තවික යථාර්තයක් ගැන විශ්වාසය තියන්නට කිසිදු බුද්ධිමය ( තාර්කික ) පදනමක් නැතත්, අපට එවැන්නක් සත්‍යයව පවතිනවා සේ රඟ පෑම හැර වෙන විකල්පයක් නැත…” ( ඇත්තෙන්ම වාස්තවික යථාර්තය කියා එකක් තිබෙනවාදැයි “හරියටම” කියන්නට අපට නොහැකි වුවත් එහෙම එකක් තිබෙන බව සිතින් සිතාගෙන රඟ පාන්නට අපට සිදුවී තිබේ…නො එසේ නම් අපට කිසිම වැඩක් කරගන්නට ලැබෙන්නේ නැත…)
“ආකෘතියක් මත යැපෙන යථාර්තය” ( ආකෘතික පදනම් යථාර්තය නොහොත් ආකෘතික යථාර්තය ) මේ සියළු තර්ක සහ යථාවාදී, යථා-විරෝධී චින්තන ශාස්ත්‍රාල අතර ඇති සාකච්ඡා සියල්ල ලුහුවත් කරයි…ආකෘතියක් මත යැපෙන යතාර්ථවාදයට අනුව, කිසියම් ආකෘතියක් “සත්‍යයද, යථාවාදීද” ඇසීම ඵලක් නොවන දෙයක් වන අතර, ඒ ආකෘතිය “නිරීක්ෂණය” හා ගැළපේද? යන්න පමණක් ඇසිය යුතුවේ…ආකෘතීන් දෙකක් යම් නිරීක්ෂණයක් හා එකඟ වේ නම්, ( රන් මාළුවාගේ සහ අපගේ දැක්ම මෙන්) , කිසිවෙකුටත් එයින් එක ආකෘතියක්, අනිත් ආකෘතියට වඩා “යථාර්ත සත්‍යයක්” බව කිව නොහැකිය…යමෙකුට කළ හැක්කේ, එම අවධානයට ලක් වූ අවස්ථාවේදී, වඩා “පහසු” කවර ආකෘතිය යෙදීමදැයි සොයා, එය භාවිතයට ගැනීම පමණි…!!..
උදාහරණයක් ලෙස: යමෙකු රන්මාළුවා සිටින වීදුරු භාජනය ඇතුලේ සිටියේ නම් රන් මාලුවා ලෝකය දකින ආකෘතියද, ඉන් පිටත සිටියේ නම් මිනිසුන් වන අප ලෝකය දකින ආකෘතියද, ප්‍රයෝජනයට ගනු ඇත….
අපි විද්‍යාවේදී ආකෘතීන් සෑදුවත්, අප එදිනෙදා ජීවිතයේදීත් ඒවා සාදමින් සිටිමු…”ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විද්‍යාත්මක් ආකෘතීන්ට පමණක් නොව, අප එදිනෙදා ලෝකය අර්ථ දක්වා ගැනීම සඳහා භාවිතා කරන විඥානිත සහ උප-විඥානිත මනෝ ආකෘතීන්ටද යෙදේ….නිරීක්ෂකයා හෙවත් “අප” අපගේ ලෝකය පිළිබඳව සංජානනයෙන් ඉවත් කළ නොහැක…මක්නිසාද, ලෝක විෂය කෙරෙහි අපගේ සංජානනය තැනී ඇත්තේ අපගේ ඉන්ද්‍රිය සැකසුම්කරණයෙන් සහ අප සිතන, හේතු දක්වන ආකාරයෙන් වීමය…අපගේ සංජානනය නොහොත් දෘෂ්ඨිය සහ ඒ මත කරන “නිරීක්ෂණයන්”  පදනම් කරගෙන  අප ගොතන සිද්ධාන්ත, සෘජු නොවන අතර, අපගේ මිනිස් මොළයේ අර්ථකතනයන් මඟින් හැඩ ගන්වනු ලැබ ඇත…”ආකෘතික – පදනම් වූ යථාර්තවාදී චින්තනය අප විසින් වස්තූන් සංශය කරගන්නා ආකරයට දායක වෙයි…ඇස් පෙනීමේදී, යම් කෙනෙකුගේ මොළයට දෘෂ්ඨික ස්නායුව හරහා සංඥා මාලාවක් ලැබෙයි…මේ සංඥා මඟින් ඔබේ රූපවාහිනියේ මැවෙනවා බඳු රූප මැවෙන්නේ නෑ…මෙහි තිබෙනවා “අන්ධ බින්දුවක්” ඔබේ දෘෂ්ඨික ස්නායුව, ඔබේ දෘෂ්ඨි විතානයට ( Retina) යා කරන, එමෙන්ම ඔබේ දෘෂ්‍ය පථයේ හොඳ විභේදන බලයක් ( Resolution) සහිත එකම ප්‍රදේශය වන්නේ අංශකයක පමණ ඉතාම කුඩා, ඔබේ මහපටැඟිල්ල අතේ දුරින් බැලූ කල පේන තරම්, කුඩා දෘෂ්ඨිවිතානය මැද පිහිටි ප්‍රදේශයකි….මේ නිසා මොළයට යවන අමු දත්ත හරියට නරක විදියට වර්ණ ගන්වන ලද, මැද්දේ සිදුරක් සහිත රූපයක් ලෙස තමයි පෙනෙන්නේ…වාසනාවට, මිනිස් මොළය එම දත්ත සකස් කර, ඇස් දෙකෙන්ම එන ආදානයන් උපයෝගී කොටගෙන, යාබද ස්ථාන වල “දෘෂ්ඨික ගුණ” සමානය, අන්තර් නිවේෂිතය (Inter-Polating), යන උපකල්පනය මත පදනම්ව, අර අඩුපාඩු පුරවා, පරිපූර්ණ චිත්‍රයක් සකස් කර දෙයි..( පරිවර්තකගෙන් : ඉතාම සරලව කියා දුන්නොත්, අපේ දෘෂ්ඨියෙන් ලැබෙන සංඥා අපට පෙරා සකසා මොළය මඟින් “අනුභූතීන්” කොට දීම මෙයින් කියැවේ…සරලව තේරුම් ගන්න )..
තවදුරටත් කියනවා නම්, එය දෘෂ්ඨි විතානයෙන් ද්වි-මාණික දත්ත වැලක් කියවන අතර, එමඟින් ත්‍රිමාණික උපස්ථිතියක් ( A three dimensional impression) සකසා දෙයි…ඉතාම සරලව කියතොත්, මොළය අපට “මනෝ චිත්‍රයක්” හෝ “මනෝ ආකෘතියක් සකසා දෙයි…මොළය මෙම මනෝ ආකෘතික නිර්මාණයේ කොතරම් නිපුනදැයි කියනවා නම්, මිනිසුන්ට ඇසට පේන දේවල් උඩු යටිකුරු වෙන කණ්ණාඩි සවි කළහොත්, මොළය යම් වේලාවකට පසුව ඒ දේවල් නැවත නිවැරදිව ලෙස පෙනෙන මනෝරූප සකසා දෙනු ඇත….එවිට කණ්ණාඩි ගැලවුවොත්, නැවතත් ටික වෙලාවක් යනතුරු පියවි ඇසට පෙනෙන දේ උඩු යටිකුරු වී තිබෙනු ඇති අතර, යළිත් මඳ වේලාවකින් නිවැරදිව සැකසෙනු ඇත…( මොළය වැඩකරුවෙකි…!) ..මෙයින් ගම්‍ය වන්නේ යමෙකු “මට පුටුවක් පේනවා” කියනවිට, ඒ තැනැත්තා පුටුවෙන් විසිරී යන ආලෝකය එකතු කොට පුටුවේ මනෝ රූපයක් හෝ මනෝ ආකෘතියක් ගොඩ නංවාගෙන ඇති බවය…මෙම ආකෘතිය බැරි වෙලාවත් උඩු යටිකුරු වී තිබුණොත්, ඒක පෙනෙන කෙනා ඒ මත ඉඳගන්නට පෙර, මොළය එය යළිත් නිවැරදි පැත්තට හරවා දෙනු ඇත…
“ආකෘතික-පදනම් වූ යථාර්තවාදය” විසින් විසඳනු ලබන තවත් ගැටළුවක් වන්නේ “පැවැත්මේ අර්ථය” යන්නය. කාමරයේ මාත් සමඟ මේසයක් තිබෙනු මට පෙනේ…නමුත් මම මේ කාමරයෙන් පිටව ගිය පසුත් මේ මේසය “පවතින” බව මම දැන ගන්නේ කොහොමද?..( එය අනුභූතික නැති අතර, බුද්ධිවාදය එය එහි මතකයක් ලෙස රඳවා තබයි..) ..අපට පෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන හෝ “ක්වාක්” නම් මූලික අංශු ( ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සාදන අංශු ) පවතින බව අපි කියන්නේ කොහොමද?…කෙනෙකුට, මා කාමරයේ ඉන්නා විට මේසය පවතින, ඉන් පිටව ගිය පසු මේසය අතුරුදහන් වෙන සහ යළි එනවිට මේසය නැවත මතු වන ආකෘතියක් සාදාගන්නට බැරිද?..ඒක මහා අමනෝඥ ආකෘතියක් වනු ඇත…ඔය අතරේ සිවිලිම කඩා වැටුණොත් මේසය උඩට…? “මා එළියට යනවිට මේසය අතුරුදහන් වෙනවාය” කියන ආකෘතිය මත කොහොමද මම පහදන්නේ, මම ඊළඟ වතාවේ එනකොට මේසය සිවිලිමේ කැබලි යට විනාශවී ගොස් තිබීම…? මෙන්න මේ මා සිටියත්, නැතත් මේසය එතන තිබෙනවා කියන ආකෘතිය විතරයි කෙනෙකුට පහදා ගන්න පුළුවන් ආකෘතිය වෙන්නේ, ඒ නිසා….
අපේ ඇසට නොපෙනෙන අංශු ගැන කථා කරනවා නම්, ඉලෙක්ට්‍රෝන ඉතාම හොඳ ආකෘතියක් “රූපවාහිනි නළයක ආලෝක ලප” වැනි දෑ පැහැදිලි කර ගන්න..1867 වසරේදී බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ජේ.ජේ තොම්සන් තමයි මේ ඉලෙක්ට්‍රෝන සොයා ගත්තේ, කේම්බ්‍රිජ් සරසවියේ කැවෙන්ඩිෂ් විද්‍යාගාරයේදී….ඔහු හිස් වීදුරු නළ තුල විදුලි දහරා පරික්ෂා කරමින් සිටියේ, “කැතෝඩ්” කිරණ නම් ප්‍රපංචය ගැන යමක් දැන ගන්න…ඔහුගේ පරීක්ෂණ ඔහුව පෙළඹුවා නිභය සමාලෝචනයක් කරන්න මේ කිරණ සෑදී ඇත්තේ පරමාණු පවා සාදන ඉතාම කුඩා අංශු වලින් බව…ඒ කාලේ මේවා ගැන සිතා ගෙන සිටියේ මේ තමයි පදාර්ථයේ තිබෙන තව දුරටත් බෙදිය නොහැකි කුඩාම අංශු කියලා…තොම්සන් ඇත්ත වශයෙන්ම ඉලෙක්ට්‍රෝනයක් දුටුවේ නෑ…ඒ වගේම ඔහුගේ පරීක්ෂණ වලින් වත් සෘජුව “ඉලෙක්ට්‍රෝන” ගැන යමක් පිළිඹිබු උනේ නෑ…නමුත් මෙම ආකෘතිය මූලධාර්මික විද්‍යාවෙන්, ඉංජිනේරු විද්‍යාව තෙක් පරාසයකට ප්‍රයෝජනවත් උනා…අද, සියළුම භෞතික විද්‍යාර්ථීන් පිළිගන්නවා ඉලෙක්ට්‍රෝන පවතින බවට, කවදාවත් කිසි අයුරකින්වත් දකින්නට නොලැබුණත්…
“ක්වාක්ස්” ( Quraks) හෙවත් මූලික අංශු, අපිට පියවි ඇසින් දකින්න බැරි තවත් දෙයක්…මේ ආකෘතියෙනුත් විග්‍රහ වෙනවා, පරමාණුවක න්‍යෂ්ඨියේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන…මේ දෙවර්ගයම සෑදී ඇත්තේ ක්වාක්ස් වලින් කියල කිව්වත්, අපිට කවමදාවකවත් ක්වාක් එකක් දකින්න ලැබෙන එකක් නෑ… ඇයි ඒ?…ක්වාක් අංශු විශේෂයේ “බන්ධන ශක්තිය” ඒවායේ වෙන්වීම සමඟ වැඩිවන නිසා, ඒවාට හුදෙකළා වූ පසුව, නිදහස් ක්වාක් වශයෙන් පවතින්න බෑ සොබා දහම තුළ.. ( මේ නිසා ක්වාක් අංශුවක් හුදෙකළාව නිරීක්ෂණයට ගන්න අපට බෑ…ඒ ගැන උපකල්පන තමයි ගෙනියන්න වෙන්නේ ඉදිරියට…)
මේවා ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ත්‍රිත්වයේ කණ්ඩායම් ලෙස තමයි සැමවිටම තැනෙන්නේ, ඒ වගේම සමහරක් විට ක්වාක් සහ “ප්‍රති-ක්වාක්” ලෙස යුගල ලෙස පවතිනවා..හරියට රබර් බෑන්ඩ් වලින් එකතු කරලා වගේ…
ක්වාක් ආකෘතිය මුල්වරට ඉදිරිපත් කළාට පසුව මහා උභතෝකෝටිකයක් ආවා, මේවා හුදෙකළාව නොපවතින නිසාත්, නිරීක්ෂණය කළ නොහැකි නිසාත්, මේවා ඇත්තටම පවතිනවද කියලා…සමහර අංශු තැනී ඇත්තේ වෙනස් උප-උපන්‍යෂ්ඨික අංශූන්ගෙන්ය කියන අදහස ඉතා සරල සහ පහසු ලෙස ඒවායේ ගුණ දැක්විය හැකි සංවිධායක මූලධර්මයක් උනා…
නමුත් වෙනත් අංශූන් විසිරීමේදී, මතුවන දත්තමය බ්ලිප් වශයෙන් අංශු දකින්න හුරු වෙලා හිටිය භෞතික විද්‍යාඥයන්ට නිරීක්ෂණය කළ නොහැකි අංශුවකට “යථාර්තවාදී බව” ලබා දීම කරන්න අසීරු දෙයක් උනා…නමුත් වසර ගත වෙද්දි, ක්වාක් ආකෘතිය වැඩි, වැඩියෙන් නිවැරදි අනාවැකි වලට මුල් වෙද්දි, එයට එරෙහිව පැවති ප්‍රතිරෝධය අඩුවෙලා ගියා…අපි මේ කරන පරීක්ෂණයම, අත් දා හතක් තියෙන අවලස්සන පිටසක්වළ ජීවියෙකුට කරලා, ක්වාක් වලින් තොරව ප්‍රතිඵලය ලබා දෙන්න පුළුවන් විග්‍රහයකුත් එක්ක… මොකද ඒ පිටසක්වළ ජීවියා “ක්වාක් ආකෘතිය මත පදනම්ව නොවන ගවේෂණ නිසා”…නමුත් “ආකෘති මත පදනම්වන යථාර්ත සිද්ධාන්තයේදී ක්වාක්ස් පවතින බව අපට කියන්න පුළුවන්, මොකද ඒ පැවැත්ම එකඟ වෙනවා අපේ උප-න්‍යෂ්ඨික අංශුවල හැසිරීමට….
( දෙවනි කොටස මෙසේ අවසන් කරමි…)

0 comments:

Post a Comment

 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger