Tuesday, April 30, 2013

සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories)

- 1 comments
සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories) වත්මන් කාලය වන විට ‍ලෝක ප‍්‍රකට ආගමික නිර්මාණාංගයකි.චීන සහ
ජපන් බසින් කියැවී පසුව ලියැවී තිබෙන ඒ කතා පුද්ගලයන් ගණනාවක් විසින් ඉංග්‍රීසි බසට පෙරලා තිබීම අ‍‍පේ භාග්‍යයක්.සෙන් කතන්දර කියවන කලඑක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන්ට අනුව එහි අර්ථය,අගය,දැනීම වෙනස් වේ.යමෙකුට සෙන් කතන්දරයක් කියවූ විට හුදු කතා රසයක් හෝ ජීවන අත්දැකීමක් පමණක් දැනෙනු ඇත.තවත් කෙනෙකුට ඒ ඉම ඉක්මවු අධ්‍යාත්මික හරයක් ලැබෙනු ඇත.වි‍ටෙක අතිශය සියුම් ලෙස මනැස ක්‍රියාත්මක කරවන හෝ පුබුදු කරවන තේමාවක් හමුවෙනු ඇති.හිටි ගමන් එසේ සිදුවීම 'ක්ෂණික අවබෝධය' යන අර්ථය දෙන 'ස‍තෝරි'(satori)යැයි ජපන් බසින් හදුන්වයි.ඉංග්‍රීසි බසින් එය අර්ථවත් වන්නේ 'sudden Awaking' යනුවෙනි.

සෙන් අරුත :- "සෙන් "යන්නෙහි ආදි අරුත ලෙස සලකනුයේ 'ධ්‍යාන'හෙවත් දැහැන යන්නයි.එය චීන බසින් ලියැවී ඇත්තේ චාන් (chan)යනුවෙනි.සංස්කෘතීකබසින් 'ධ්‍යාන'(dyana)වී ඇති බවත් පසුව කටට හුරුවන අයුරින් සෙන් (zen)වී ඇති බවත් ‍පෙනේ.මෙසේ බලන කල සෙන් යන්නෙහි 'ප්‍රබුද්ධත්වය','ආත්මාවබෝධය','හදුනා ගැනීම','දැහැන',යන සකල විධ අරුත් ගබඩා වී ඇති බව හැඟේ.
Zen mong1.jpg

සෙන් නියමුවා:- 'සෙන්'පිළිබඳ ලියැවී තිබෙන පොත පත අනුව ප්‍රථම සෙන් නියමුවා ලෙස පිළිගනු ලබන්නේ හයවන සියවසේදී ඉන්දියාවේ සිට චීනයට පැමිණියායැයි,සැලකෙන ‍බෝධිධර්මතුමාය,(Bodhidharma).චීන ගුරුතුමෙකු වන ඩොගෙන්(Dogen)විසින් 1043දී ලියන ලදැයී කියන චරිතාපදානයට අනුව ‍බෝධිධර්මතුමා චිනයේ නව අවුරුද්දක් පමණ වූ කාලයක් ගත කර ඇති බව පෙනේ.තවත් සමහරුන්ගේ මතය වන්නේ සෙන් යනු බුද්ධ කාලය වන ක්‍රි.පු 500ටත් ඉහත පටන්ම පැව‍තෙන ඉගැන්වීමක් බවයි.සෙන් ඉගැන්වීමේදී ප්‍රධාන සෙන් කතන්දර වන්නේ මනැසයි.
සෙන් කතාවකදී හැම විටකම පාහේ අපට සංවාදාත්මක සිද්ධියක් හෝ අනපේක්ෂිත සිද්ධියක් හමුවෙනවා ඇති.බොහෝ අවස්ථාවලදී එම අවස්ථාව වටහා ගත යුත්තේ සෙන් ගුරුතුමෙකුගේ හෙවත් සෙන්ආචාර්යවරයෙකුගේ අත්දැකීමක් වශයෙනි.සෙන් කථා වලදී අපට විටෙක මුණ ගැසෙන්නේ පූජකවරයෙකි.තවත් විටෙක සමාන්‍ය මිනිසෙක් .තවත් විටෙක ‍‍‍‍බේබද්දෙක් හෝ සෙබළෙක් ,සොරදෙටුවෙක් හෝ රජතුමෙකු ව්ව්ධාකාර චරිත ද මුණ ගැසේ.සමහරු සෙන් ගුරුවරුන් හමුවට එන්නේ ඔවුන්ට සරදම් කොට යන්නටය.එහෙත් ඔවුන් පෙරලා යන්නේකිසියම් ජිවිතාවබෝධයක් ලැබගෙනයි. සෙන් කියවා නිහඬ බව විඳගත් කෙනෙකුට පෙරලා තවත් අයටද කියා දිය හැකියි.ඒ අතින් බලන කල සෙන් කතා සදාතනිත 'බණ කතා'විශේෂයක්වශයෙන්ද සලකන්නට පුළුවන්.සෙන් කතන්දර දෙකක් පහත දක්වා ඇති අතර ඉන් සෙන් කථාවල සුවි‍ශේෂී බව අපට වටහා ගත හැකියි.

තේ කෝප්පය:-

මෙයි ජි සමයේදී (1868-1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන්(Nan in)හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා.එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනී‍‍මේ අරමුණ ඇතිවයි.නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා.එතුමා තේ පිළියෙල කර ‍තේ වත්කර ගෙන ගියා.තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තව දුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ?
"තේ කෝප්පය තේ වලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?"
ඊට පිළිතුරු වශයෙන් සෙන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ?
"මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්‍,ඔබතුමාගේ යම් යම් මත වලින් අදහස් වලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ.දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට."

හඳ හොරා ගත නොහැකියි:-

සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා.එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා.ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා.රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.
"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා

"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ.මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".
තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා.හොරාට මහ පුදුමයි.හොරා ඇඳුම් අරන් පැන දිව්වා.රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා."දුප්පතා" ඔහු කල්පනා කළා.
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".

බුදුන් සිර අඩස්සියේ


වෙළෙන්දෙක් රෙදි කච්චි පනහක් රැගෙන වෙළඳාම සඳහා පිටත් වූයේය.

අතරමගදී ඔහුට තද නිදිමතක් දැනුණේය. විසල් හිටි ගල් පිළිම වහන්සේ නමක් අසල හේ නින්දට වැටුණේය. නිදි සුව විඳ අවදිව බැලූ විට රෙදි තොගය අතුරුදන් වී තිබිණි. හේ වහාම පොලිසීයට පැමිණිලි කළේය. දිගින් දිගටම පරීක්ෂණ පැවැත්විණි. පොලීසිය විසින් පැමිණිල්ල උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. උගත් විනිසුරු තුමා,

''එකත් එකටම ඔය රෙදි හොරකම් කරන්න ඇත්තෙ බුදු පිළිම වහන්සේම වෙන්න ඕනෑ. උන් වහන්සේට වටිනවා මගීන්ගේ දේපොළ ආරක්ෂා කරල දෙන්න. නමුත් ඒ වැඩේ කරල නැහැ. ඒ නිසා ගල් බුදුපිළිම වහන්සේ හිර අඩස්සියට ගන්න මම නියෝග කරනවා'' යැයි කීය.

වියත් විනිසුරුතුමානන්ගේ නියෝගය පරිදි පොලිස් නිලධාරීහු යුක්තිය පසිඳලනු වස් ගල් බුදුරුව අත් අඩංගුවට ගෙන උසාවිය වෙත ගෙන ආහ. ඒ පසුපස බුදුරුවට දෙන දඬුවම දැනගනු රිසියෙන් මහා සේනාවක් කෑ ගසමින් සිනාසෙමින් උසාවියට පැමිණියහ. සෙනග දුටු උගත් විනිසුරුතුමාණෝ,

''මේ සෙනගට උසාවියට ඇවිත් මේ විදියට හිනාවෙන්න කෑගහන්න වටිනවද? අයිතියක් තිබෙනවද? මාගේ අණසක පිරි මේ අති පාරිශුද්ධ යුක්තියෙහි ක්ෂේම භූමියට අපහාස කිරීමේ වරදට ඔබලා හැම දෙනාම හිර ගෙට නියම කරනවා'' යයි ප්‍රකාශ කළේය. 

රැස්ව හුන් සියළු දෙනා බිම වැඳ වැතිර හිඳ සමාව අයැද සිටියහ.

''මම යුක්තියේත් සාධාරණත්වයේත් සංකේතයයි. මං ඔබලාට අනුකම්පා කොට දඩයක් නියම කරනවා. මේ සියළු දෙනාම රෙදි කච්චිය බැගින් උසාවියට ගේන්න ඕනැ. දින තුනක් ඇතුළත එසේ නොකළහොත් හිරගෙට යවනවා'' යි විනිසුරුතුමා අණ කළේය. 

මිනිසුන් රැගෙන ආ රෙදි කච්චි අතුරින් එකක් තමාගෙ බව වෙළෙන්දා හැඳින ගත් නිසා හොරා කවරකු දැයි පහසුවෙන් අල්ලාගන්නා ලදී. අනිත් මිනිසුන්ගේ රෙදි කච්චි ආපසු දෙනු ලැබිණ.

අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු


නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය.

''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද''

හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය. 

''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.

''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්‍රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.''

මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන් එළියට ඇදගත්තේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.

''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල කපන්න තරම් මුවාත් නැතුව ඇති''

නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,

''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර'' යි හයිකුන් පැවසීය.

මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට,

''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර'' යි හයිකුන්ගේ මුවින් නිකුත් විය.

චීන කවියක් ලියන හැටි


ජපානයේ සුප්‍රසිද්ධ කවියකුගෙන් චීන කවියක් ලියන ආකරය ගැන අසනු ලැබීය.

''චීන කවියක පද හතරක් තියෙනවා'' ඔහු විස්තර පටන් ගත්තේය.

''පළමු වැනි පදයේ ආරම්භක අදහස දක්වනවා. දෙවැන්න එහිම කොටසක්. තුන්වැනි පදය අලුත්ම අදහසක් පටන් ගන්නවා. හතරවැන්නෙන් මේ අදහස් සේරම එකට ඈඳෙනවා. මෙය පැහැදිලි කරන ජපන් ගීතයක් මෙන්න:

ක්යෝතෝවේ සේද වෙළෙඳුට - දුලා දෙන්නෙක් ඉන්නවා
වැඩිමලා විසි හැවිරිදියි - බාලයා අටළොස් වියේ
මිනීමරන්නේ සොල්දාදුවන් - කඩු පහර දීලයි
මේ කෙල්ලෝ නම් එය කරන්නෙ- නෙත් පහර දීලයි”

ජෝසුගේ ZEN (Joshu's Zen)

ජෝසු දිගු කාලයක් ZEN ඉගැන්වූ ගුරුවරයෙක්. වරක් ශිෂ්යයෙක් පැමිණ ඔහුගෙන් මෙසේ විමසුවා.

"මනසේ කිසිවක් නැතිනම් මම මොකක්ද කරන්න ඕනෙ?"

ජෝසු: එලියට ඇදල දාන්න

ශිෂ්යයා: ඒ වුනාට එලියට ඇදල දාන්න මොකුත් නෑනෙ?

ජෝසු: එහෙනම් තියාගන්න

ඉරණම (Destiny)

වරක් ජපන් ජනරාල් වරයකුට සටනකට යෑමට සිදුවුනා. නමුත් ඔහුට සිටියේ ඉතා කුඩා සේනාවක්. මේ නිසා සටන ජයගන්නට හැකි වේ යැයි සේනාව විස්වාස කලේ නැහැ.

ඔහු සේනාව කැදවුවා. කාසියක් ගෙන
"හිස වැටුනොත් අපි සටන දිනනවා, නැත්න්ම් පරදිනවා. අපේ ඉරණම කාසියෙන් කියාවි" මෙසේ පවසා ඔහු කාසිය උඩ දැමුවා.
කාසියේ හිස පැත්ත වැටුනා. සේනාව උද්දාමයට පත් උනා. සටනට හොදින් මුහුන දී සතුරන් පරාජය කොට ජය ගත්තා.

ස්ටන ජය ගෙන එන අතර ලුතිනන් මෙසේ ඇසුවා
"ඉරණම කාටවත් වෙනස් කරන්න බැහැ නේද?"
"ඔබ හරි" යැයි පවසා ජනරාල්වරයා ලුතිනන්වරයාට කාසිය පෙන්නුවා.
කාසියේ දෙපැත්තේම තිබුනේ හිසයි.

බෙල් ගුරැතුමා (Bell Teacher)

නවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා.

"මං බෙල් එකක් යැයි සිතන්න"
"සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා"
"හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"
යැයි ගුරුතුමා පැවසුවා.


මොකුගෙන්ගේ සිනාසීම (A Smile in His Lifetime)

මොකුගෙන් කිසිමදවසක සිනාසුන කෙනෙක් නොව්. ඔහු සිනසුනේ මරනයට පත්වුන දවසේ විතරයි. ඔහු මරනයට ආසන්න අවස්තාවේ ඔහුගේ හොදම ගෝලයන්ට කතා කරා.

"ZEN නිවරදිව අර්ථ කථනය කරන කෙනාට මාගේ චීවරය සහ පාත්තරය හිමිවනවා" යැයි පැවසුවා.

හැමෝම මොකුගෙන්ගේ මුහුන දෙස වික්ෂිප්තව බලා සිටියා. කවුරැවත් පිලිතුරැ දුන්නේ නෑ.

මොකුගෙන්ට එන්චෝ නැමැති ගෝලයෙක් සිටියා. ඔහු ඉදිරියට පැමින බෙහෙත් භාජනය අගලක් පමන එහාට කරා. මෙය ඔහුගේ පිලිතුර උනා.

මොකුගෙන්ගේ මුහුන දැඩි වුනා. "එචිචරද තේරුනේ?" යැයි විමසුවා.

එන්චෝ නැවත පැමින බෙහෙත් භාජනය පෙර තිබූ තැනින් තැබුවා.

ලස්සන හිනාවක් මොකුගෙන්ගේ මුහුනින් නැගුනා.
"මගඩියා. මගෙත් එක්ක අවුරැදු දහයක් වැඩ කරලත් මගේ සම්පුර්න ධර්මය දැකල නෑ. මේ චීවරය සහ පාත්තරය ගන්න. එය අයිති ඔබටයි" යැයි පැවසුවා.

-හෙලවෙන්නේ කුමක්ද?-


සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ.
"ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය.
"නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය.
එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
"දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."


-ශුන්‍යතව හා කෝප්පය-


තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය. 
තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
"අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..."
දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය.
යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය.
"කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය.

-හෙට දවස-


ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත. 
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.

ඒකත් එහෙමද ?


හකුයින් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ඔහුගේ බ්‍රහ්මචාරී ජීවිතය නිසාම ඔහු අතිශයින් ජනාදරයට පත්වී සිටියා ඔහු වාසය කල ආරාමය පිහිටා තිබුනේ ගැමි නිවසකට යාබදවයි එම නිවසේ ලස්සන ජපන් තරුණියක් තම දෙමව්පියන් සමගින් වාසය කලා

ටික කලක් ගතවෙත්ම තරුණිය හදිසියේම ගැබ්ගෙන ඇතිබව දෙමව්පියන් දැනගත්තා ඔවුන් දැඩිසේ කෝප උනා එහෙත් තරුණිය දරුවාගේ පියා කවුද යන්න හෙලි කලේ නැහැ, අවසානයේ ඇය නූපන් දරුවාගේ පියා හකුයින් බව ප්‍රකාශකලා

දෙමව්පියන්ට අදහා ගැනීමට නොහැකි උනා ගමේ ගරු බුහුමානයට පත්වූ හකුයින් මෙයට වගකිවයුතු බව හෙලිවූවිට ඔවුන් කේන්තියෙන් හකුයින් හමුවීමට දිවගොස් බැණ වදින්නට උනා සියල්ල සාවදානව අසාසිටි හකුයින් අවසානයේ

"ඒකත් එහෙමද" යනුවෙන් අසා සිටියා

කුඩා දරුවා ඉපදීමෙන් පසු හකුයින්ගේ භාරයට පත්කරනු ලැබුවා ඒ වනවිට හකුයින් සතුවූ කීර්තිය නැතිවී තිබුනා එහෙත් හකුයින් අසල් වැසියන්ගෙන් ඉල්ලා ගනිමින් කුඩා දරුවාට අවශය සියලුම දේ ලබා දී දරුවා පෝශණය කලා

අවුරුද්දක් ගතවීමෙන් පසු තරුණියට තවදුරටත් සත්ය සගවා ඉන්න බැරි උනා ඇය තම දෙමව්පියන්ට තම දරුවාගේ නියම පියා මාළු වෙළද සැලේ තරුණ සේවකයෙකු බව ප්‍රකාශකලා දෙමව්පියන් තමන් කල වැරැද්ද ගැන බොහෝ පසුතැවිලි උනා ඔවුන් වහාම හකුයින් හමුවීමට දිවගියා

හකුයින් හමුවී තමන්ට සමාව දෙන ලෙසත් දරුවා නැවත භාර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කලා හකුයින්


"ඒකත් එහෙමද"  කියමින් දරුවා නැවත භාර දුන්නා.


[Continue reading...]

Sunday, April 28, 2013

තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ උණුසුම පාළණය කළ හැකියි! - පර්යේෂණයකින් හෙලිවේ!

- 0 comments
තිබ්බතයේ ලාමා භික්ශූන් වහන්සේලාට භාවනාව මගින් සිරුරේ අභ්‍යන්තර උණුසුම (core body temperature  පාළණය කල හැකිබව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සිදුකල පර්යේෂණයකින් හෙලිවී ඇත.

ලාමාවරුන් ජී-ටුම්මෝ (g-tummo) ලෙස හඳුන්වන මෙම භාවනා ක්‍රමය මගින් අධික ශීතලෙන් වෙලී ඇති හිමාලයේ වසන මෙම භික්ශූන් වහන්සේලා සිය සිරුරේ අභ්‍යන්තර උශ්ණත්වය ෆැරන්හයිට් 101 දක්වා වැඩිකරගන්නා ආකාරය පර්යේශකයින්ගේ උපකරණ වල සටහන් වී ඇත. ජී-ටුම්මෝ භාවනා ක්‍රමය තිබ්බතයේ ලාමාවරුන් අතිශය පූජනීය ලෙස සළකන භාවනා ක්‍රමයක් වන අතර මේ මගින් සිරුරේ ප්‍රතිශක්තය පවා වැඩිකරන ගත හැකි බව පර්යේශකයින් පවසයි. ආධ්‍යාත්මීය ශක්තය වර්ධනය කරගැනීමේ හා පාළණය කිරීමේ භාවනා ක්‍රමයක් වන මෙය මගින් කෙටිකාලයක් එය ප්‍රගුණ කල විදේශිකයින්ට පවා සිය සිරුරේ උශ්ණත්වය තරමක් දුරට පාළණය කරගත හැකිවී ඇත.

ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුන කරන භික්ශූන් වහන්සේලා තිබ්බතයේ අතිශය දුශ්කර ප්‍රදේශවල ඇති ආරණ්‍ය වල වාසය කරන අතර ඔවුන් බොහෝ විට සිය භාවනාක්‍රම රහසේ ප්‍රගුණකරන බව පැවසේ.

සිංගප්පූරු පර්යේශකයින් හට මේම ලාමා භික්ශූන් වහන්සේලා පර්යේශණයට භාජනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ තිබ්බතයේ හිමාල කඳුකරයේ පිහිටි එක් ලාමා ආරණයක පැවැත්වුනු ලාමා බෞද්ධ භික්ශූන්ගේ සාම්ප්‍රදායික පිරිත් සජ්ජායනයකදීය.

මෙම පර්යේශණ පැවැත්වූ දිනකිහිපයේ එප ප්‍රදේශයේ උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් -25 තරම් පහල බැස තිබුණත් ධාන්‍යයට සමවැදුනු භික්ශූන් වහන්සේලාට සිය සිරුරේ ඔතා තිබූ තෙත රෙදි වියලී යන තරමට සිය සිරුරේ උශ්ණත්වය වර්ධනය කරගත හැකිවූබව පර්යේශකයින් සිය පර්යේෂණ වාර්තාවේ සටහන් කොට ඇත.

සිංගප්පූරු විශ්වවිද්‍යාල පර්යේශකයින් අතේ ගෙනයා හැකි EEG උපකරණ මගින් මෙම භාවනා යෝගී ලාමාවරුන්ගේ මොළයේ EEG සටහන් පවා ලබාගෙන ඇති අතර ඒ අනුව මෙම උණුසුම පාළණය භාවනායෝගීව ධාන්‍යයට සමවැදී ලබාගත් බවට සැකයකින් තොරව විද්‍යාත්මකව තහවුරුකර ගැනීමට හැකිවී ඇත.

මෙම පර්යේශණ ප්‍රතිපල මගින් අධික ශීතල ප්‍රදේශවල අතරමං වන ගවේශකයින්ට හා ගුවන් යානා අණතුරුවලට පත්වන්නන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා ජිවිතාරක්ශක උපක්‍රම නිර්මාණය කල හැකිබව පර්යේශකයින්ගේ අදහස වේ. එමෙන්ම අධික ශීතල ප්‍රදේශවල මෙහෙයුම් සිදුකරන විශේෂ බළකා සෙබළුන් හටද මෙවැනි පුහුණුවක් මගින් මෙහෙයුම් සාර්ථක කරගැනීමේ හැකියාවද සොයා බැලෙමින් පවතින බව වාර්තාවේ.
[Continue reading...]

ජීවිතයේ යථාර්ථය කියා දුන් පැරණි ගැමි නිවස

- 0 comments
නිවසක්‌ යනු හුදු අව් වැසි සුළංවලින් හා අනේක විධ උපද්‍රව වලින් රක්‌ෂා වීම සදහා මිනිසා විසින් නිමැවූ රක්‌ෂිත ස්‌ථානයක්‌ පමණක්‌ නොවේ. එය මානව ශිෂ්ටාචාරයේ පහළවන බරසාර සංකල්පයකි. නිවසක්‌ ඉදිකර පදිංචි වීම යනු ශිෂ්ටාචාර ගත ජීවිතයක වැදගත්ම ප්‍රමුඛ අවශ්‍යතාවක්‌ ලෙස සැලකිනි. නිවස ශිෂ්ටාචාරයක පිළිබිඹුවක්‌ සේම නිශ්චිත සංස්‌කෘතියක හා එම සංස්‌කෘතියෙන් පෝෂණය වන ජන සමූහයක විඤ්ඤාණය ප්‍රකට කරවනා දර්ශකයක්‌ වූයේය. අප විසින් අපේ ගැමි නිවස පිළිබද මේ සංවාදය උපදවන්නේ ශිෂ්ටාචාරයේ පැනෙනා ඒ ගැඹුරු අරුත් යම් පමණකට ස්‌පර්ශ කරමිනි.

ලංකාවේ විවිධ යුගයන්ට අයත් ශිෂ්ටාචාර පැවති බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. බටදොඔලෙන, බෙලිලෙන ආදී ස්‌ථානයන්හි සිදුකර ඇති පර්යේෂණ මගින් ප්‍රාග් ඓතිහාසික මානවයා එම ලෙන් ආශ්‍රිතව ජීවත් වූ බව තහවුරු කොට තිබේ. නමුත් විශේෂත්වය වන්නේ ඉන් ඔබ්බට මෑත කාලය වනතුරු, එනම් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අපේ රටේ මිනිසුන් ජීවත් වූ බවට සැක කරන නිවසක තොරතුරු සොයා ගැනීමට විද්‍යාර්ථයින්ට අපහසු වී තිබීමය. අනුරාධපුර යුගයේ සිට රාජමාලිගා හා අනෙකුත් ආගමික ගොඩනැඟිලිවල අවශේෂයන් සොයා ගෙන ඇතත්, සාමාන්‍ය ජනතාව විසූ නිවසක්‌ හෝ භික්‌ෂූන් වහන්සේ වැඩසිටි ආරාමයක්‌ පිළිබඳ තොරතුරු වාර්තා නොවේ. අපට හමුවන්නේ මෙයින් වසර 400 කින් මෙපිට නිවාස පිළිබඳ සාධක පමණක්‌ වීම වැදගත් වේ.

අපට හමුවන පැරණි නිවාස

ප්‍රධාන වශයෙන්ම රජ මාලිගා සහ බෞද්ධ වෙහෙර විහාර ස්‌ථිර ද්‍රව්‍යයන්ගෙන් කල් පවතින ලෙස හා ශක්‌තිමත්ව ඉදිකළද බවත් සාමාන්‍ය ජනතාවගේ නිවාස හා භික්‌ෂුන්ගේ ආරාම එලෙස ශක්‌තිමත්ව ඉදිකර නොතිබූ හෙයින් ඒවායේ සාධක හමු නොවන බවත් සිතිය හැක. ඒවා පරිසරයෙන් ලබා ගත් මූලික ද්‍රව්‍යයන්ගෙන් නිර්මිත ඒවා වූ අතර, කිසිදු පරිසර හානියකින් තොරව පොළවටම පස්‌වී ගිය නිසා ද්‍රව්‍යමය සාධක හමු නොවන බව පෙනේ.

සැබවින්ම අද අපට දක්‌නට ලැබෙන සීමිත සාධක හා පැරණි නිවාස ඉදිකිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයේදී මේර් පිළිබඳ බොහෝ කරුණු උගත හැකිය. වර්තමානයේදි අපට හමුවන්නේ ගම්පොළ යුගයට හෝ ඉන් පසුකාලීනව ඉදිකළා යෑයි සිතෙන නිවාස හෝ එම යුගයන්ට අයත් ක්‍රමවේද හා සම්ප්‍රදායන් අනුගමනය කරමින් ඉදිකර ඇති නිවාස සහ ඒවායේ අවශේෂයන්ය.
මෙම නිවාස ද ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකට බෙදිය හැකි බව පෙනේ. එනම් වඩාත් කල් පවතින ද්‍රව්‍ය වලින් නිර්මිත ප්‍රභූන්ගේ හා ප්‍රධානීන්ගේ වලව් සම්ප්‍රදායට අයත් නිවාස හා සාමාන්‍ය ගැමි නිවාස ලෙසය. වලව් සම්ප්‍රදායේ පැරණි නිවාස ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිර පවතී. මධ්‍යම, බටහිර, සබරගමුව, වයඔ, ඌව, දකුණ මෙන්ම රජරට මෙම වලව් සම්ප්‍රදායට අයත් නිවාස දක්‌නට ඇති අතර, ඒවා ඉදිකළ ප්‍රදේශය වෙනස්‌ වුව ද ඒවායේ සමාන ලක්‌ෂණ දක්‌නට ඇත.

එහෙයින් ඉදිකරන ලද ප්‍රදේශය, දේශගුණය, පරිසරය, සංස්‌කෘතිය හා සමාජ තත්ත්වය අනුව වෙනස්‌ නිර්මාණ හමුවන ගැමි නිවාස පිළිබඳව කථිකාව වැදගත් යෑයි පෙනේ.

ගැමි නිවසක වග

ගැමි නිවාස ඉදිකිරීමේදී ප්‍රධාන වශයෙන්ම පළමු වැදගත් සාධකය ලෙස සලකනුයේ නිවස ඉදිකිරීම සඳහා තෝරාගත් ස්‌ථානයයි. එනම් වඩාත් සුව පහසු එමෙන්ම ආරක්‌ෂිත ස්‌ථානයක්‌ මේ සඳහා තෝරා ගන්නා ලදී. දෙවනුව මේ ස්‌ථානය තම අනෙකුත් දෛනික කටයුතු වලට පහසුව ගෙන දෙන ස්‌ථානයක්‌ වීමය. එනම් පහසුවෙන් ජලය ලබා ගත හැකි ජල මූලාශ්‍ර ආසන්නයේ පැවතීමත්, තම වගා බිම්වලට පහසුවෙන් ළඟා විය හැකි වීමත් වැදගත් කොට සලකන ලදී.

එමෙන්ම වන සතුන්ගේ උවදුරු වලින් තොර වූ ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වීම වැදගත් විය. අද අපට මුහුණ දීමට සිදුවන අලි මිනිස්‌ ගැටුම් ආදිය සිදුවීමට ඉඩකඩ ඇති අලිමංකඩයන්හි නිවස ඉදිනොකරන්නට ගැමියෝ වග බලා ගත්හ. ඔවුන් ඒ පිළිබඳ හසල දැනුමකින් යුක්‌ත වූ අතර, වන සතුන්ද තම ස්‌වාභාවික පරිසරයේ කොටසක්‌ ලෙස සලකා ඔවුනට අවශ්‍ය ඉඩකඩ වෙන්කර දීමට ඔවුහු කටයුතු කළහ.

නිවස ඉදිකරන්නට සුදුසු ස්‌ථානය තෝරා ගත් ගැමියා තම පවුල් හෝ ගමේ පිරිස එක්‌ කර ගෙන තම නිවස ඉදිකර ගත්තේ කුලී ගෙවීමෙන් නොවේ. සම්පූර්ණයෙන්ම අත්කම් ක්‍රමය මගින් ඔහු තම අවට පරිසරයෙන් සොයා ගත් මැටි, පස්‌, ගල්, දැව දඬු, පිදුරු ඉලුක්‌මනා සහ වැල් ආදිය උපයෝගි කර ගෙන තම නිවස ඉදිකරගත්තේය. එක්‌ එක්‌ කාර්යයන් සඳහා දක්‌ෂ තම ඥාතීන් හා මිතුරෝ ඒ ඒ කාර්යයන් සඳහා උදව් කළහ. ගැමියා ද ඔවුනට සහාය වූ අතර, වැඩ කරන අතරතුර ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීමත්, ඔවුන්ගේ මෙවැනි කාර්යයන් සඳහා අත්කම් ක්‍රමයට සහභාගි වීමෙනුත් ඔහු තම යුතුකම ඉටු කළේය. සමහර විටෙක යම් හේතුවක්‌ මත යමෙකුගේ කාර්යයකට සහභාගි වීමට ඔහුට නොහැකි වුවද ඒවා උපේක්‌ෂාවෙන් යුතුව ඉවසීමට අන්‍යයෝ පුරුදුව සිටියහ. මෙසේ අවට පරිසරයෙන් උකහා ගත් අමු දුව්‍ය උපයෝගි කරගෙන තම නිවස ඉදිකළ ද පරිසරය හා තම සමාජයීය තත්ත්වය අනුව ඒවායේ කැපී පෙනෙන සුළු වෙනස්‌කම් දක්‌නට ඇත.
රජරට නුවර කලාවිය ප්‍රදේශයේ ඉදිකළ උස්‌ පිල සහිත නිවාස තම පවුලේ සාමාජික පවුල් වර්ධනය වන විට දීර්ඝ වීමෙන් සෑදුනි. සමාන නිවාස ක්‍රමයක්‌ වූ කුරුණෑගල ප්‍රදේශයේ නිවාසයන්හි ඉදිරියට නෙරා ආ බරාදයක්‌ දක්‌නට ලැබිණි. වයඹ පළාතේ පිටිසරට වන්නට ඉදිවූ නිවාස ගම්මැද්දක්‌ වටා ඉදි විය. නිකවැරටිය, මහ කිරින්ද හා මහගිරිල්ල ගම්මානවල මෙවැනි ගම්මැද්ද මෑතක්‌ වනතුරු පැවතුණි.

උඩරට පළාත්වල විශේෂයෙන්ම මහනුවර, දෙනුවර මාතලේ, හගුරන්කෙත හා කොත්මලේ ප්‍රදේශවල පැවතියේ හතර ඈඳපු ගෙවල්ය. හතර ඈඳපු ගෙයක්‌ යනු මැද මිදුලක්‌ වටා ගෙවල් හතරක්‌ ලෙස වහල හතරක්‌, කාණු පිළිවලින් සම්බන්ධ කර ඉදිකරන ලද නිවසයි. මෙහි බොහෝවිට ජනේල නොවූ අතර එක්‌ දොරක්‌ පමණක්‌ විය. ආලෝකය හා වාතාශ්‍රය ලබා ගත්තේ මැද මිදුලෙනි. මෙයින් නිවස තුළ උණුසුම ආරක්‌ෂා විය.

ගැමි නිවසක්‌ ඉදිකිරීමේ ප්‍රධානම සාධකයක්‌ වූයේ තම ජීවන ක්‍රමය බවත්, පාරිසරික සාධක අනුව එය සැලසුම් කරවා ගත් බව මෙයින් පෙනීයයි. වැදගත්ම ලක්‌ෂණය වූයේ කිසිදු නිවසක්‌ අනෙක්‌ නිවාස අභිබවා යන ලෙස ඉදිකරන්නට කටයුතු නොකිරීමයි. එක ප්‍රදේශයක පිහිටි නිවාස එකම ආකාරයක ඒවා වුවද අද මෙන් එක්‌ එක්‌ නිවැසියන් අතර තම නිවාසයේ හැඩය හා ප්‍රමාණය පිළිබද තරගයක්‌ නොවීම වැදගත් කරුණකි.
එක ගමක වාසය කළ සියලුම ගැමියන් එකම ජිවන වෘත්තියක යෙදුනු අතර, ඔවුන්ගේ වත්පොහොසත්කම සමාන මටටමක විය. එලෙසම සෑම අයෙකුගේම අවශ්‍යතාවන් එක හා සමාන වීය. එමෙන්ම එම අවශ්‍යතාවන් සියල්ල ඉතා සරල. ප්‍රාථමික ඒවා විය. එය ඔහුගේ නිවසින් විදහා දැක්‌වීම නිසා මෙවැනි සරල නිවසක්‌ ඉදිකිරීමට ඔහු පෙළඔනේය.

ගැමියා බොහෝ දුර දිග සිතා බලන්නෙකු වුවද නිවසක්‌ ඉදිකිරීමේදී පරම්පරා ගණනාවක්‌ කල්පැවතිය යුතු යෑයි හෝ තම දුදරුවන් හා ඔවුන්ගේ දරුවන්ට ද වාසය කළ හැකි මට්‌ටමට ශක්‌තිමත්ව තිබිය යුතු යෑයි කල්පනා නොකළේය. සියල්ලටම සරිලන ලෙස එක්‌ අයෙකුට එක්‌ කාමරයක්‌ බැගින් තිබිය යුතු යෑයිද සිතුවේ නැත. බොහෝ දරුවන් සිටියද ඔවුහු සමගිව එකට වාසය කළහ. විවාහ වී වෙන්වූ දරුවෝද ඒ ආසන්නයේම නිවසක්‌ ඉදිකර ගත්හ. දරුවන්ගේ දරුවන්ට වැඩිහිටියන්ගේ ආරක්‌ෂාව ලැබුණු හෙයින් අද මෙන් ගෘහ සේවිකාවන් හෝ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන අවශ්‍ය නොවීය. සෑම ගැටලුවක්‌ම ඉතා සරලව විසැඳි ජීවිතය මෘදු ලෙස ගලා ගිය ආකාරය කදිමය.

බාහිරින් පැමිණෙන උපද්‍රව සඳහාද එක්‌ව මුහුණ දීමට ශක්‌තියක්‌ද මේ එක්‌ව වාසය කිරීමෙන් ලැබිණි. ගමේ පිරිමින් හේනට කුඹුරට ගිය විට නිවෙස්‌වල සිටින කාන්තාවන් හා දරුවන් මෙලෙස එක්‌ව වාසය නිසා නිරන්තරව ආරක්‌ෂා විය. ගම්මැද්ද සහිත නිවාස ක්‍රමයේදී හා හතර ඈඳපු ගෙවල්වල මේ ලක්‌ෂණය කදිමට දක්‌නට ලැබිණි.

බොහෝ නිවෙස්‌වල ගෘහ භාණ්‌ඩ ලෙස තිබී ඇත්තේ ඉතාමත් සරල භාණ්‌ඩ කීපයක්‌ පමණි. අමුත්තෙක්‌ පැමිණි විට උස්‌ පිලට පැදුරක්‌ දමා වාඩි වීමට දීම මගින් ගෘහභාණ්‌ඩ අවශ්‍යතාව සපිරුණි. ඒ හැර ඇඳක්‌, බංකුවක්‌ වැනි දෙයක්‌ මිසක වෙන යම් ගෘහ භාණ්‌ඩයක්‌ තිබූ බවක්‌ දැනගන්නට නැත. එහෙත් ගැමියා සහ ගැමිලිය තම කෘෂි උපකරණ සහ මුලුතැන්ගෙයි උපකරණ විශේෂිත ලෙස ගබඩා කර පහසුවෙන් ළඟා විය හැකි අයුරින් ගබඩා කර තිබිණි. එමෙන්ම නිරන්තරව තම නිවසද, නිවස අවටද පිරිසිදුව තබා ගත් ගැමිලිය පොළව නිතර ගොම මැටි ගා නඩත්තු කළාය. එහෙයින් අද සිමෙන්ති බදාමයෙන් ඉදිකළ නිවෙස්‌වල ද වේ හා කෘමි උවදුරු තිබුණද පැරණි ගැමි නිවස දැව දඬු, මැටි හා පිදුරු උපයෝගි කරගෙන ඉදිකළද එවැනි ගැටලුවක්‌ ඇති නොවීය.

ගොවිතැන් කර අස්‌වැන්න ගෙට ගත් පසු කමතේ ඉතිරිවන පිදුරු අසල්වාසීන්ගේ උදව්වෙන් වහලයට සෙවිලිකර ගැනීමෙන් මේ නිවස බොහෝ විට පරම්පරා කීපයක්‌ පවතින ලෙස නඩත්තු කර ගැනීමට ගැමියාට හැකිවිය.

මෙම නිවස පෙනුමෙන් ප්‍රමාණයෙන් ප්‍රසන්න බවක්‌ ගෙන දුන්නාක්‌ මෙන්ම සුවදායී බවින්ද ඉහළවිය. මැට්‌ටෙන් ඉදිකළද පිහිටි පොළවට වඩා අඩි දෙක තුනක්‌ ඉහළින් නිවසේ පොලව සකස්‌ කර ගත් හෙයින් වැසි හා ශීත කාලයට උණුසුම් බවද උෂ්ණ කාලයට සිසිල් බවද ලැබිණි. මෙහි බිම පැදුරක්‌ එලා නිදා ගැනීම ඉතා සුවදායක වූයේ එබැවිනි. දිවා කාලය තුළ වෙහෙස මහන්සි වී කුඹුරේ හේනේ වැඩ කළ ගැමියාට, ගැමිලියට සැබවින්ම සුන්දර සුවදායි විවේකයක්‌ මෙවැනි නිවසකින් ලැබිණි. ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන ලද නවීන නිවසක නැති සුවයක්‌, පරිසරයෙන් උකහා ගත් ද්‍රව්‍යයන් උපයෝගි කරගෙන ඉදිකළ මෙවැනි නිවසකින් ලැබිණි.
සරල ගැමි දිවි පෙවෙතේ කැඩපත බදු මේ ගැමි නිවාස අද ජීවත් වන අපට ආදර්ශයක්‌ සපයයි. අද බොහෝ අය නවීන සැලසුම් අනුව ස්‌ථිර ද්‍රව්‍ය වලින් ඉදිකරන නිවසක නැති සුන්දරත්වයක්‌, සුවපහසුවක්‌ මේ නිවසින් ලැබිණි. එමෙන්ම දහසකුත් අවශ්‍යතාවන් මුදුන්පත්කර ගැනීම සඳහා නිවස ඉදිකරන්නට අද අප පෙළඹී ඇති හෙයින් සහ තම ආදායමට නොගැළපෙන කාර්යයකට අතගැසීම නිසා අප බොහෝ දෙනා අද ජීවත් වන්නේ අඩ වශයෙන් නිමකළ නිවාසවලය.

එහෙයින් තමන්ට ගැළපෙන තම ආදායමට සරිලන තමන්ට පහසුවෙන් නඩත්තු කර ගැනීමට හැකි සුවදායි පරිසරයක්‌ හා මානසික සතුටක්‌ ලබා දෙන නිවසක්‌ ඉදිකර ගන්නට නම් අපේ පැරණි සිංහලයා තම නිවස ඉදිකර ගත් ආකාරය ගැන සිතා බැලිය යුතු කාලය එලඹ ඇත.

ප්‍රසන්න බී. රත්නායක වරලත් වාස්‌තු විද්‍යාඥ
- අධ්‍යක්‌ෂ වාස්‌තුවිද්‍යා සංරක්‌ෂණ අංශය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව

- Divaina
[Continue reading...]

රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?

- 0 comments
එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.

බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට  ඕනෑ තරම් සාධක ඇත. පුරාාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.

පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථානවලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්‍ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින් ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උම`ග තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ගී‍්‍රන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සකි‍්‍රය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප‍්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.

පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් ති‍්‍රකෝණාකාරව පෘථිවිය වටා කක්‍ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම ප‍්‍රකාශ කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය කි‍්‍රයාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්‍ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ‍්‍රමණය වීම සිදුවෙයි.

මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිදි සත්‍යයක් පැවතිය යුතුය. වේරම්බ වාතය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941දීය. පෘථිවි මට්ටමේ සිට අඩි 25000-30000 උසකින් පෘථිවිය වටා ගමන් කරනා ශක්ති ධාරාවකි. ගුවන් යානා භාෂාවේදී මෙය ජෙට් ස්ටී‍්‍රම් (Jet Stream) ලෙස හඳුන්වනු ලබයි. මෙම වායු ධාරාව තුළ දී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක වේගයක් ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීම සිදුවෙයි. පහළ කක්‍ෂ මට්ටම ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.

රාමායණය තුළ වේරම්බ වාතයේ සැඟවූ රාවණ රජුගේ ආයුධ තුනක් පිළිබඳ කතා කිරීමට හේතුව පැහැදිලිය. යුද්ධයක බලගතුම අවිය වනුයේ තොරතුරුය. ඇමෙරිකාව ලෝකය පුරා සියලූ රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.

රාමායණ කතුවරයාට මෙය අවියක් ලෙසින් සිතන්නට පැහැදිලි හේතුද ඇත. වේරම්බ වාතය යනු පහළම කක්ෂයයි. එනම් මෙහි ස්ථානගත කළ චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් රාවණ රජු භාවිත කළේ යැයි කීම පදනම් විරහිත කතාවක් නොවේ. යුද්ධයක් ජයගැනීමට මෙන්ම ලෝකයම ජනාවාස කළ හෙළයන්ගේ ප‍්‍රධානම අවිය වන්නට ඇත්තේ මෙයයි. මෙය බහුතරයකට විහිළුවක් සේ සිතෙනන්ට පුළුවන. එහෙත් පසුගිය කාලයේ ගිලීගිය නැවකින් සොයාගත් වසර දෙදහසකටත් වඩා පැරැණි පරිගණකයක් සේ හඳුනාගත් ඇන්ටිකතිරියා මැෂිම විහිළුවකැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය. එය නූතන විද්‍යාවෙන් ද පිළිගෙන හමාරය. කඩාවැටුණු පිට සක්වළ යානාවක තිබූ පරිගණකයක් සේ යම් මත ඉදිරිපත් වුවත් විද්‍යාඥයන් විසින් ඇන්ටිකතිරියා මැෂිමේ ආකෘතියක් නිර්මාණය කිරීමත් සමග අදින් වසර දහස් ගණනකට පෙර පැවති පරිගණක තාක්‍ෂණ ක‍්‍රමවේදයක් පිළිබඳ නැවත සිතන්නට අවස්ථාව විවර කළේය. බටහිර විද්වතුන් ලංකාවට මෙන්ම ඉන්දියාවට පැමිණ හදාරන ලද්දේ රාවණ ඉතිහාසයයි. ඔවුහු හෙළ දැනුම බටහිරට ගෙන ගොස් තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකයට හෙළි කළහ.

රාමායණයේ සඳහන් වන ලෙසට රාවණ රජතුමා වේරම්බ වාතයේ සැඟවූ ආයුධ ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය. මෙය ඉතා සරල කතාවකි. එහෙත් තාක්ෂණය දන්නා හෙළයන් මෙහි ඇතුළාන්තය ගැන හොඳින් දැන සිටියේය. එවරස්ට් කන්දේ උස අඩි 29029 කි. එනම් හිමාලය හරහා වේරම්බ වාතය වක‍්‍රාකාරව ගලායයි. මෙහිදී ඉතා සියුම් ක‍්‍රමවේදයක් ඔස්සේ චන්ද්‍රකාවක් කක්ෂ ගත කිරීමට හැකියාව පැවතුණි. වේරම්බ වාතය යනු ඒකාකාරීව පෘථිවිය වටා ගමන් කරනා වායු ධාරාවක් බැවින් මෙය නිරන්තරව භ‍්‍රමණය වීම සිදු වෙයි. අප කතා කරනුයේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සඟවා විස්තර කළ හෙළයන්ගේ දස්කම් ගැනය. පසුගිය දා චීනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමත් සමගම ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඇති වූ උණුසුම් කතාබහ තවමත් කිසිවකුටත් අමතක නැත. එහෙත් එහිදී අවශ්‍ය වන්නේ අපේ රට තුළ නිපදවූ  චන්ද්‍රිකාවක් තනන්නට අපේම වුවමනා දැනුම එක්කාසු කරගෙන එවන් නිර්මාණයක් කිරීමය. ඒ අවශ්‍යතාව සහිත යුගය එළැඹ ඇත. මන්ද හෙළයන්ගේ යුගය උදාවී ඇති බැවින.

- සචින්ත
[Continue reading...]

Tuesday, April 16, 2013

අරුණි ශපීරෝ‍ වෙතින් - විශ්වයේ සැලැස්ම පැහැදිලි කරත හැකි ද?

- 0 comments
“අප ජීවත්වනුයේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලයේ දී විසල් විශ්වයේ ඉතා අල්පයක් අපි ගවේෂනය කරමු.” ස්ටීවන් හාව්කින්ස් හා ලෙනාඩ් ම්ලොඩිනොව් දෙදෙනා The Grand Design (2010) පොත ආරම්භ කරන්නේ එලෙසිනි. සත්‍ය ගවේෂනයේ පාරම්පරිකව යෙදුනේ දාර්ශනිකයාය. ඔහු විශ්වය පමණක් නිරීක්ෂණයට හා විචාරයට සීමා නොකළේය. දාර්ශනිකයා විශ්වය වටහා ගන්නට මිනිසා ද අධ්‍යයනය කළේය.
දර්ශනයේ කාර්යභාරය විද්‍යාව නොහොත් භෞතික විද්‍යාව විසින් බාරගත්තා යැයි කියන හාව්කින්ස් සහ ලෙනාඩ් දෙදෙනා පොතේ මහත් පිටු ගණනාවක විස්තර කරන්නේ මෙතෙක් පැවති දාර්ශනික මතවාද පිළිබඳව ය. ඒ විශ්වයේ සැලැස්ම ගැන දාර්ශනික විචාරයෙන් මෙතෙක් කාලයක් වූ ගැටළු පෙන්වා එය භෞතික විද්‍යාවෙන් නිරාකරණය කිරීම කරා යනු පිණිස ය. මන්ද ඔවුන් දෙදෙනාට අනුව අද දර්ශනය මිය ගොස් ය. (පිටු 5)
දර්ශනය = ඥානය සොයා යෑම
ඥානය සොයා යෑම = යම් විෂයයකට සීමා නොවීම
විශ්වය සංකීර්ණය. මිනිසා ද සංකීර්ණය. අප අද විශ්වය වැඩ කරනා ආකාරය පැහැදිලි කරගනිමින් සිටිමු. අපට අද මිනිසා හිතනා ආකාරය ද පැහැදිලි කරගත හැකි ද? විශ්වයේ සැලැස්ම මිනිසා‍ගේ සම්භව්‍ය හා අණූක පැවැත්ම පමණක් පැහැදිලි කර දීමෙන් පැහැදිලි කරගත හැකි ද?
ඉහත දෙදෙනා පොත පටන් ගන්නේ බටහිර ඥාන ගවේෂනයේ ග්‍රීක දාර්ශනිකයන් යැයි සැලකෙන තේල්ස්, තොලමි, පයිතගොරාස්, ඉයුක්ලිඩ් වැනි අයගේ සොයා ගැනීම් වලිනි. ක්‍රි. පූ. 585 දී ත්ලේස් සූර්ය ග්‍රහණයක අනාවැකි පළ කළේය. දාර්ශනිකයා විශ්වයේ සම්භව්‍ය ප්‍රශ්න කළේය. ඇනැක්සිමැන්ඩර් කියූ මනුෂ්‍ය දරුවෙක් ඉපිද විගස කිසිත් කරකියා ගන්නා බැරි තත්වයක ඉන්නා නිසා විශ්වයේ ප්‍රථම මිනිසා බිහිවූයේ දරුවකු ලෙසින් වූවා නම් ඔහු ජීවත්වනුයේ නැත යන්න දාර්ශනිකයා මනුෂ්‍යා කවුදැයි විචාරයේ දී උපකාරයට ගන්නා ලදි. ඇරිස්ටෝටල් තාර්කික ක්‍රමයක් හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට සීමා වූවක් නොවේ.
එක එක යුගයන්හි දාර්ශනිකයෝ විවිධ විෂයයන්; ජ්‍යාමිතිය, ගණිතය, තාරකා ශාස්ත්‍රය, භාෂාව, මනෝවිද්‍යාව, මොළය යනාදියට සිය විමසුම් ඇස් යොමු කරන ලදහ. අද දිනයේ ද ඔවුන් එලෙසම ය. සත්‍යය සොයා යෑමෙන් දාර්ශනිකයා භෞතික විද්‍යාඥයාට පුටුව දී බැහැර වී ගොස් නැත. පොත කියවද්දී හාව්කින්ස් භෞතික විද්‍යාවෙන් බැහැරව දාර්ශනිකයෙක් වන්නට යත්න දරනවා ද යැයි සිතුණි!
භෞතික විද්‍යාඥයා විශ්වය පැහැදිලි කරන්නට ගන්නා උත්සාහය හා සමාන වේගයකින් අද ජීවවිද්‍යාඥයා මිනිස් මොළය පැහැදිලි කරගන්නට ද උත්සාහයක යෙදෙයි. මොවුන් එකිනෙකාට විරුද්ධ පැති දෙකකින් පටන් ගෙන මැදක මුණ නොගැසී වේගයෙන් එකිනෙකා පසුකරමින් යන අධිවේගී දුම්රියන් දෙකක් වැනි යයි හැරල්ඩ් මොරොවිට්ස් දාර්ශනිකයා කීවේ 1980 ගණන්වල දී ය. අද දෙපැත්තක වෙනුවට ජීවවිද්‍යාඥයා ද රසායනයෙන් මිනිස් ශරීරය හා එහි සැලැස්ම පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙයි. මනෝවිද්‍යාඥයා ද ඊට හවුල් වී ඇත.
සයිරකස් විශ්ව විද්‍යාලයේ ‍මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඔර්ටීග් මූලිකත්වයෙන් පිරිසක්, ආදරය හටගනිද්දී මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය, The Journal of Sexual Medicine හි පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙන්නී ය. ආදරය හටගන්නට මිනිසාට යන්නේ තත්පර පහෙන් එකක් යයි ප්‍රස්තුතයකින් ඔවුන් තම අධ්‍යයන පර්යේෂණ පවත්වති. මෙහි දී මැනිය හැක්කේ මොළය නිකුත් කරන රසායනික විපර්යාසයයි.
තමා ලස්සන යයි සිතන කාන්තාවක් දකින පිරිමියාට ඇයගේ ඇස් මුණගැසි කල ඔහුගේ මොළයේ තෘප්තිය පහළ කරවන ඩෝපමින් නැමති රසායනය නිකුත් කරයි. “අනේ එයාව දැක්කත් හිත පිරෙනවා” යැයි සමහරු කියන්නේ මේ නිසා ද? ප්‍රීති උත්තේජනයන් (euphoria-inducing) නිපදවන dopamin, oxytocin, adrenaline, vassopressin වැනි රසායන අද මොළයේ හටගන්නා ආකාරය මොළ ඡායාරූප නැරඹීම මඟින් අවබෝධය ලැබිය හැකිය. හටගන්නට මූලික බාහිර සාධක නැරඹිය හැකිය. මව සහ දරුවා අතර ආද‍රය ඇති මොළ ප්‍රදේශයේ නොව ආදරවන්තයා හා ආදරවන්තිය අතර ආදරය ඇති මොළ ප්‍රදේශය වෙනතක යැයි අවබෝධය ලැබී ඇත. එහෙත් මේ දෙක සදා දෙකක් මිස එකක් නොවන්නේ කෙසේ ද? යම් අහඹු විටෙක එයත් එකක් වන්නට දැකීම කුමන විපර්යාසයක් ද? ඔය කියන ප්‍රීති උත්තේජනයන් සියල්ල මොළයේ රසායනිකව නිකුත් වූවත් එය යම් දෙදෙනකු අතර සදාකාලික බැඳීමකුත් යම් දෙදෙනෙකු අතර තාවකාලික වූ බැඳීමක් කරා යන්නේත් කෙසේ ද? එකම බාහිර සාධක දැක දෙදෙනෙක් දෙයාකාරයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි?
කෙටියෙන් කිවහොත් රසායනික ප්‍රතිඵලය බලා, එය හටගන්නා හා නැතිවන්නා වූ බාහිර සාධක දැකි පමණින්, එය හටගත් ආකාරය පැහැදිලි වන්නේ ද? පවතින ආකාරය පැහැදිලි වන්නේ ද? නැතිවන ආකාරය පැහැදිලි වන්නේ ද? නැතහොත් පැහැදිලි කරදිය හැක්කේ ඇති වූ හැටි, පවතින හැටි හා නැති වූ හැටි ද?
ග්‍රහලෝකාගාරයට යන්නේ ග්‍රහලෝක ගැන ඉගෙන ගන්නට ය. මොළය ගැන ඉගෙනීමට නම් අද කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල මොළලෝකාගාරයට යා හැකිය.
ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ මොළය අද අධ්‍යයනය කරන්නේ මෙහි ය. 1953 ගිම්හානයේ දී හෙන්රි ගස්ටාව් මොලෙයිසන් (HM)නැමැත්තා ඉතා දරුණු අපස්මාර රෝගයකින් ගැලවෙනු පිණිස මොළ සැත්කමකට භාජනය විය. එයින් අපස්මාර රෝගයේ වූ වේදනාවන් ජයගත හැකි වුව ද ඔහුට දීර්ඝ කාලීන මතකය නැතිව ගියේය. හුරු පුරුදු මතකයේ තිබුණ ද, විචාරය හා ප්‍රහේලිකාවක් පුරවත හැකි හැකියාව තිබුණ ද ඔහුට දීර්ඝ කාලීන මතකයට අළුතින් යමක් එකතු කිරීමේ හැකියාව අහිමි විය. වයස 27 දී මෙම දීර්ඝ කාලීන මතකය අහිමි වන ඔහු මිය යන්නේ වයස 82 දී ය. එතෙක් ඔහු මොළය පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ වලට සහභාගී වූවෙකි. මිය ගියඔහුගේ මොළය හදාරන ආකාරය අද අන්තර්ජාලයෙන් ඔබට ද නැරඹිය හැකිය.
ශුද්ධ ජ්‍යාමිතියත් වීජ ගණිතයත් අතර සබඳතාවත් සොයා ගන්නා ගණිතඥයා රෙනේ ඩෙකාට් ය. භෞතික විද්‍යාවට සියල්ලම පැහැදිලි කරනු හැකිය කියා පහදන්නට ඔහු විෂයමූලික ඥානයක් සොයායන්නට සියල්ල සැක කරන ක්‍රමය පාවිච්චි කළේය. අවසානයේ දී සැක නොකළ හැකි එකම දෙය වූයේ “ඔහුගේ පැවැත්ම” පමණි. “මම සිතමි. ඒ නිසා මම පවතිමි.” “මගේ පැවැත්ම මම සැක කරමි” කියද්දී ද සැක කරන්නට කෙනෙක් ඉන්නා නිසා එයින් ද ඔප්පු වන්නේ මම පවතිමි යන්න ය. ප්‍රතිඵලය වූ තම පැවැත්ම දකින සැකයට ද මනස මූලික ය.
මිනිස් මොළයක පවතින්නේ විද්‍යාව පැහැදිලි කරන සිනැප්සස්, ලොබොටොමි (HM වැනි මොළයේ සෛල විනාශය), ප්‍රෝටීන් හා ඉලෙක්ට්‍රෝඩ වැනි දෑ පමණක් ද? පරමාණු මට්ටමකින් සිද්ධ වන ප්‍රතික්‍රියාවන් පමණක් ද? අණූක හා Quarks සමූහයක මට්ටමකින් සිද්ධ වන නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියාවන් පමණක් ද? නැත්නම් සවිඥානය, සංජානනය, සම්ප්‍රජානනය, සහ චින්තනය යනාදිය ඇසට නොපෙනුන ද ප්‍රතිඵල දැකිය හැකි නිසා ඊටත් වැදගත්කම දිය යුතු ද?
මිනිසාගේ හැදියාව ජීවවිද්‍යා පදනමකින් පැහැදිලි කරලීමට ශාරීරික විද්‍යාවකින් ඩාර්වින් උත්සාහ ගනියි. ඩෙකාට් උත්සාහ ගන්නේ මනස ජීවවිද්‍යාවෙන් බැහැරක ලා තබන්නට ය. අපගේ “වානරත්වය” සලකා බලන පරිනාමවාදයේ දී මිනිසාගේ මුල්ම ඥාතියා වූ “වඳුරා” හා අනිකුත් සත්වයන් අධ්‍යයනය කෙරුණි. පැව්ලෝ විසින් හැදියාව ගැන ගෙන හැර පෑ විස්තර වලින් චර්යාව වෙනස් කරගත හැකි යයි ඔප්පු කරගන්නට පුළුවන්කම ලැබුණි.
මිනිසාගේ සෑම දෙයක්ම ජීවවිද්‍යාවෙන් පැහැදිලි කරන්නට ගොස් අපට ලැබෙන්නේ එය රසායන හා භෞතික විද්‍යා වලින් පැහැදිලි කිරීමක් ද? රසායනය හා භෞතික විද්‍යාවන් අණු වලට යාමෙන් සෑම සියළු දැයක්ම අණු වලින් පැහැදිලි කරත හැකි ද?
අණුවක වීජ කේන්ද්‍රීයව ඇති ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන කෙසේදැයි පහදාලන්නට ස්ටීවන් හා ම්ලොඩිනොව් සහායට ගන්නේ Quarksයන්නය. ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන සමන්විත වන්නේ Quarks වලින් ය. ඒවා වෙන් කරන්නට ගන්නා උත්සාහයේ දී ඒවා බැඳී ඉන්නට ගන්නා වෑයම වැඩි ය. එහෙයින් ඊට තනිවම පවතිනු නොහැකි ය. එහෙයින්ම නිදහස් Quark එකක් නිරීක්ෂණය කරනු ද නොහැකිය. එහි ස්වභාවය නිසාම දකින්නට හැක්කේ සමූහයක එකතුවකි. එකතුවක් දකින කල එහි එකක් ඇතැයි කිව හැකි ද? නැතැයි කිව නොහැකි ද? යමක් නොදැක එහි පැවැත්මක් ඇතැයි කිව හැකි ද? නැතහොත් සමූහයක් දැක එකක් ඇතැයි කියන්නේ නිරීක්ෂණයෙන් නොව තර්කයෙන් නොවන්නේ ද?
මොළයත් මනසත් හුදු භෞතික විද්‍යාවෙන් පමණක් පැහැදිලි කරගත හැකි යයි කිව්ව ද එය ආසන්නයටම පැමිණි කල එය ද නිරීක්ෂණයක් වෙයි ද?
ඔවුනට භෞතික විද්‍යාවෙන් සියල්ල ඔප්පු කර පෙන්වීමට නොහැකි වී ඇත් ද? නැතහොත් අවසානයේ ඔවුන් ද පැමිණෙන්නේ ඩෙකාට් ගේ “මා සිතමි, ඒ නිසා මා පවතිමි” වැන්නකට ද?
මධ්‍යම ස්නායු පද්ධතියට අනුව සවිඥානය හා පරාවර්තක චින්තනය ඇති මිනිස් මොළය පැහැදිලි කරත හැකිය. ශාරීරික පද්ධතියට අනුව ජීවවිද්‍යානුකූල වූ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරත හැකිය. කාබන්, නයිට්‍රිජන්, ඔක්සිජන් වැනි අනූක භෞතික විද්‍යා දැනුමින් ජීවවිද්‍යාවේ සියළුම අවස්ථා පැහැදිලි කරත හැකිය. එහෙත් තවමත් අනූක භෞතික විද්‍යාවට ඥානය හටගන්නේ කොහොම ද යන්න පුරාතන වූ මනස උපයෝගී කර නොගෙන විස්තර කරන්නට නොහැකි ය.
මනස විචාරයෙන් පටන්ගත් මිනිසා හා විශ්වය ගවේෂණය අද විද්‍යාවෙන් පැහැදිලි කරගත්තා ද? නැතහොත් ඒ කටයුත්ත නැවතත් අවසන් වන්නේ මනසේ විචාරයට පැවරීමෙන් ද?
ප්‍රතිඵලය බලා එය ඇතැයි කියන්නට හැකියාව පමණින් හටගත් හැටි හා පවතින හැටි සියල්ල පැහැදිලි කරත හැකියාව භෞතික විද්‍යාවට දිය හැකි ද?
විචාරය නිමියේය.
සිතන්න යමක්: දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරන්න හැකි යයි කියන ඉහත දෙදෙනා ‘දෙවියන්’ යන වචනය පොතේ හැම තැනකම ලියා ඇත. මා සට‍හනේ මුළු විචාරය ගෙන යන්නේ දෙවියන් බැහැරලා ය. ඔවුනට සිද්ධ වී ඇත්තේ දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරගන්න නොහැකියාව ද? නැත්නම් ඔවුන්ගේ අරමුණ වෙනෙකක් වී ද?
[Continue reading...]
 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger