
ගාල්ල – යටගල රජමහා වෙහෙර බිම පිහිටා ඇත්තේ මුහුදු මට්‌ටමින් මඳක් උස්‌වූ පවුරු බිමක මනරම් වූ ගල්කුළුවලින්ද ගහන කඳු ගැටයක් මුදුනෙහිය. මෙම වෙහෙර බිමෙහි අතීතය ඉපැරැණිය. එමෙන්ම එපමණටම සොඳුරුබර දසුනකි. එසේ කිවහැක්‌කේ එය දෙවන පෑතිස් යුගය තරම් මෙරට මහ දහම් ප්‍රබෝධයක් ඇතිකළ යුගයක් කරා දිවෙන්නක් ලෙස ජන ප්‍රවාදවලට අනුවද පැවසෙන බැවිනි. එමෙන්ම ඒ බව තහවුරු කරන සාධකද හමුවී තිබේ. කටාරම් කොටන ලද ප්‍රධාන විහාරගෙයි පිහිටි ගල්ලෙනත්, භික්‍ෂූන් වහන්සේලා බවුන් වඩන ලද ගල් කුළත් එවැනි සාධක දෙකකි.
අනුරාධපුර යුගය අවසන් අදියරට පැමිණියේය. ඒත් සමගම මෙම පුදබිමට කණකොකා හඬන්නටද වැඩි කාලයක් ගත වූයේ නැත. එයින් පසු දඹදෙනි රාජ්‍ය සමය පටන් ගන්නා තෙක්‌ම මෙහි පැවතියේ මහත් වූ ඝන අඳුරකි. දඹදෙණි රාජ්‍ය යුගය පටන් ගෙන කාලය හෙමි හෙමින් ගලායත්ම එදාරජය කළ දඹදෙණියේ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවන පැරකුම් මහ නිරිදාණෝ මේ අසිරිමත් වෙහෙර දෙසද නෙත් යොමු කළහ. එහි අනගිබවනීයතම ඵලය වූයේ රාජ අනුග්‍රහයෙන් දොළොස් රියනක් වූ සැතපෙන පිළිමය වෙහෙර බිමෙහි ඉදිවීමයි. සර්වඥ ධාතු නිධන් කළ චෛත්‍යයද ඉදිවිණි.
සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් යටතේ සසුන්කෙත බබළවන මෙම විහාරස්‌ථානයේ වැදගත්කමට තුඩු දෙන තවත් සුවිශේෂ සාධකයක් පුරාවිද්‍යා ගවේෂක මහරගම සරත් රත්නායක මහතා විසින් සොයාගනු ලැබ ඇත. ඒ විහාරය පිටුපස ඇති ගල් තලාවෙනි. ඒ වනාහී ගල්තලාවෙන් සියුම්ව පිළිබිඹු වී පෙනුණු කිසියම් අක්‌ෂර හා රේඛා විශේෂයකි. මේවා රූපගත කළ රත්නායක මහතා නොපමාව එම ඡායාරූප පිටපත් කොළඹ ජාතික කෞතුකාගාරයේ අධිකාරී රංජිත් හේවාගේ මහතා වෙත යොමුකර ඇත. මේ අතර තැනින් තැන බ්‍රාහ්මී අක්‌ෂර සටහන් කිහිපයක් දක්‌නට ලැබෙන බව ඔහු හඳුනාගෙන තිබේ. ඒවා අතර “ප” හෝ “හ” නැවත “ප”, “න” හා “ඣ” යන අක්‌ෂර දක්‌නට ලැබෙන බවද හඳුනාගෙන ඇත. සෑම අක්‌ෂර දෙකක් අතර තිබෙන අක්‌ෂරය අපැහැදිලි වන තරමට ගෙවී ගොසිනි. මෙම අක්‌ෂර දළ වශයෙන් ක්‍රිස්‌තු පූර්ව පළමු සියවසේ සිට ක්‍රිස්‌තු වර්ෂ පළමු සියවස තෙක් කාලයට බව ඔහු නිගමනය කර තිබේ. මේ පිළිබඳ වැඩිදුරටත් ගවේෂණය කොට මෙහි සත්‍ය තහවුරු කිරීමත්, පසුව ඒවා සංරක්‌ෂණය කිරීමත් අදාළ බලධාරීන් සතුව දැන් පවත්නා වගකීමයි.
- සරත් රත්නායක (දිවයින 24-07-2011)
0 comments:
Post a Comment