“අප ජීවත්වනුයේ ඉතා කෙටි කාලයකි. ඒ කෙටි කාලයේ දී විසල් විශ්වයේ ඉතා අල්පයක් අපි ගවේෂනය කරමු.” ස්ටීවන් හාව්කින්ස් හා ලෙනාඩ් ම්ලොඩිනොව් දෙදෙනා The Grand Design (2010) පොත ආරම්භ කරන්නේ එලෙසිනි. සත්‍ය ගවේෂනයේ පාරම්පරිකව යෙදුනේ දාර්ශනිකයාය. ඔහු විශ්වය පමණක් නිරීක්ෂණයට හා විචාරයට සීමා නොකළේය. දාර්ශනිකයා විශ්වය වටහා ගන්නට මිනිසා ද අධ්‍යයනය කළේය.
දර්ශනයේ කාර්යභාරය විද්‍යාව නොහොත් භෞතික විද්‍යාව විසින් බාරගත්තා යැයි කියන හාව්කින්ස් සහ ලෙනාඩ් දෙදෙනා පොතේ මහත් පිටු ගණනාවක විස්තර කරන්නේ මෙතෙක් පැවති දාර්ශනික මතවාද පිළිබඳව ය. ඒ විශ්වයේ සැලැස්ම ගැන දාර්ශනික විචාරයෙන් මෙතෙක් කාලයක් වූ ගැටළු පෙන්වා එය භෞතික විද්‍යාවෙන් නිරාකරණය කිරීම කරා යනු පිණිස ය. මන්ද ඔවුන් දෙදෙනාට අනුව අද දර්ශනය මිය ගොස් ය. (පිටු 5)
දර්ශනය = ඥානය සොයා යෑම
ඥානය සොයා යෑම = යම් විෂයයකට සීමා නොවීම
විශ්වය සංකීර්ණය. මිනිසා ද සංකීර්ණය. අප අද විශ්වය වැඩ කරනා ආකාරය පැහැදිලි කරගනිමින් සිටිමු. අපට අද මිනිසා හිතනා ආකාරය ද පැහැදිලි කරගත හැකි ද? විශ්වයේ සැලැස්ම මිනිසාගේ සම්භව්‍ය හා අණූක පැවැත්ම පමණක් පැහැදිලි කර දීමෙන් පැහැදිලි කරගත හැකි ද?
ඉහත දෙදෙනා පොත පටන් ගන්නේ බටහිර ඥාන ගවේෂනයේ ග්‍රීක දාර්ශනිකයන් යැයි සැලකෙන තේල්ස්, තොලමි, පයිතගොරාස්, ඉයුක්ලිඩ් වැනි අයගේ සොයා ගැනීම් වලිනි. ක්‍රි. පූ. 585 දී ත්ලේස් සූර්ය ග්‍රහණයක අනාවැකි පළ කළේය. දාර්ශනිකයා විශ්වයේ සම්භව්‍ය ප්‍රශ්න කළේය. ඇනැක්සිමැන්ඩර් කියූ මනුෂ්‍ය දරුවෙක් ඉපිද විගස කිසිත් කරකියා ගන්නා බැරි තත්වයක ඉන්නා නිසා විශ්වයේ ප්‍රථම මිනිසා බිහිවූයේ දරුවකු ලෙසින් වූවා නම් ඔහු ජීවත්වනුයේ නැත යන්න දාර්ශනිකයා මනුෂ්‍යා කවුදැයි විචාරයේ දී උපකාරයට ගන්නා ලදි. ඇරිස්ටෝටල් තාර්කික ක්‍රමයක් හා ආචාර ධර්ම ගැන පැහැදිලි කර දුනි. විලියම් ජේම්ස් මනස ගැන අධ්‍යයන පටන් ගති. දර්ශනය විෂයයකට සීමා වූවක් නොවේ.
එක එක යුගයන්හි දාර්ශනිකයෝ විවිධ විෂයයන්; ජ්‍යාමිතිය, ගණිතය, තාරකා ශාස්ත්‍රය, භාෂාව, මනෝවිද්‍යාව, මොළය යනාදියට සිය විමසුම් ඇස් යොමු කරන ලදහ. අද දිනයේ ද ඔවුන් එලෙසම ය. සත්‍යය සොයා යෑමෙන් දාර්ශනිකයා භෞතික විද්‍යාඥයාට පුටුව දී බැහැර වී ගොස් නැත. පොත කියවද්දී හාව්කින්ස් භෞතික විද්‍යාවෙන් බැහැරව දාර්ශනිකයෙක් වන්නට යත්න දරනවා ද යැයි සිතුණි!
භෞතික විද්‍යාඥයා විශ්වය පැහැදිලි කරන්නට ගන්නා උත්සාහය හා සමාන වේගයකින් අද ජීවවිද්‍යාඥයා මිනිස් මොළය පැහැදිලි කරගන්නට ද උත්සාහයක යෙදෙයි. මොවුන් එකිනෙකාට විරුද්ධ පැති දෙකකින් පටන් ගෙන මැදක මුණ නොගැසී වේගයෙන් එකිනෙකා පසුකරමින් යන අධිවේගී දුම්රියන් දෙකක් වැනි යයි හැරල්ඩ් මොරොවිට්ස් දාර්ශනිකයා කීවේ 1980 ගණන්වල දී ය. අද දෙපැත්තක වෙනුවට ජීවවිද්‍යාඥයා ද රසායනයෙන් මිනිස් ශරීරය හා එහි සැලැස්ම පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙයි. මනෝවිද්‍යාඥයා ද ඊට හවුල් වී ඇත.
සයිරකස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාඥ ස්ටෙෆනි ඔර්ටීග් මූලිකත්වයෙන් පිරිසක්, ආදරය හටගනිද්දී මොළයේ සිදුවන රසායනික ක්‍රියාවලිය, The Journal of Sexual Medicine හි පැහැදිලි කරන්නට උත්සාහයක යෙදෙන්නී ය. ආදරය හටගන්නට මිනිසාට යන්නේ තත්පර පහෙන් එකක් යයි ප්‍රස්තුතයකින් ඔවුන් තම අධ්‍යයන පර්යේෂණ පවත්වති. මෙහි දී මැනිය හැක්කේ මොළය නිකුත් කරන රසායනික විපර්යාසයයි.
තමා ලස්සන යයි සිතන කාන්තාවක් දකින පිරිමියාට ඇයගේ ඇස් මුණගැසි කල ඔහුගේ මොළයේ තෘප්තිය පහළ කරවන ඩෝපමින් නැමති රසායනය නිකුත් කරයි. “අනේ එයාව දැක්කත් හිත පිරෙනවා” යැයි සමහරු කියන්නේ මේ නිසා ද? ප්‍රීති උත්තේජනයන් (euphoria-inducing) නිපදවන dopamin, oxytocin, adrenaline, vassopressin වැනි රසායන අද මොළයේ හටගන්නා ආකාරය මොළ ඡායාරූප නැරඹීම මඟින් අවබෝධය ලැබිය හැකිය. හටගන්නට මූලික බාහිර සාධක නැරඹිය හැකිය. මව සහ දරුවා අතර ආදරය ඇති මොළ ප්‍රදේශයේ නොව ආදරවන්තයා හා ආදරවන්තිය අතර ආදරය ඇති මොළ ප්‍රදේශය වෙනතක යැයි අවබෝධය ලැබී ඇත. එහෙත් මේ දෙක සදා දෙකක් මිස එකක් නොවන්නේ කෙසේ ද? යම් අහඹු විටෙක එයත් එකක් වන්නට දැකීම කුමන විපර්යාසයක් ද? ඔය කියන ප්‍රීති උත්තේජනයන් සියල්ල මොළයේ රසායනිකව නිකුත් වූවත් එය යම් දෙදෙනකු අතර සදාකාලික බැඳීමකුත් යම් දෙදෙනෙකු අතර තාවකාලික වූ බැඳීමක් කරා යන්නේත් කෙසේ ද? එකම බාහිර සාධක දැක දෙදෙනෙක් දෙයාකාරයට ප්‍රතිචාර දක්වන්නේ ඇයි?
කෙටියෙන් කිවහොත් රසායනික ප්‍රතිඵලය බලා, එය හටගන්නා හා නැතිවන්නා වූ බාහිර සාධක දැකි පමණින්, එය හටගත් ආකාරය පැහැදිලි වන්නේ ද? පවතින ආකාරය පැහැදිලි වන්නේ ද? නැතිවන ආකාරය පැහැදිලි වන්නේ ද? නැතහොත් පැහැදිලි කරදිය හැක්කේ ඇති වූ හැටි, පවතින හැටි හා නැති වූ හැටි ද?
ග්‍රහලෝකාගාරයට යන්නේ ග්‍රහලෝක ගැන ඉගෙන ගන්නට ය. මොළය ගැන ඉගෙනීමට නම් අද කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ අන්තර්ජාල මොළලෝකාගාරයට යා හැකිය.
ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ මොළය අද අධ්‍යයනය කරන්නේ මෙහි ය. 1953 ගිම්හානයේ දී හෙන්රි ගස්ටාව් මොලෙයිසන් (HM)නැමැත්තා ඉතා දරුණු අපස්මාර රෝගයකින් ගැලවෙනු පිණිස මොළ සැත්කමකට භාජනය විය. එයින් අපස්මාර රෝගයේ වූ වේදනාවන් ජයගත හැකි වුව ද ඔහුට දීර්ඝ කාලීන මතකය නැතිව ගියේය. හුරු පුරුදු මතකයේ තිබුණ ද, විචාරය හා ප්‍රහේලිකාවක් පුරවත හැකි හැකියාව තිබුණ ද ඔහුට දීර්ඝ කාලීන මතකයට අළුතින් යමක් එකතු කිරීමේ හැකියාව අහිමි විය. වයස 27 දී මෙම දීර්ඝ කාලීන මතකය අහිමි වන ඔහු මිය යන්නේ වයස 82 දී ය. එතෙක් ඔහු මොළය පිළිබඳ විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ වලට සහභාගී වූවෙකි. මිය ගියඔහුගේ මොළය හදාරන ආකාරය අද අන්තර්ජාලයෙන් ඔබට ද නැරඹිය හැකිය.
ශුද්ධ ජ්‍යාමිතියත් වීජ ගණිතයත් අතර සබඳතාවත් සොයා ගන්නා ගණිතඥයා රෙනේ ඩෙකාට් ය. භෞතික විද්‍යාවට සියල්ලම පැහැදිලි කරනු හැකිය කියා පහදන්නට ඔහු විෂයමූලික ඥානයක් සොයායන්නට සියල්ල සැක කරන ක්‍රමය පාවිච්චි කළේය. අවසානයේ දී සැක නොකළ හැකි එකම දෙය වූයේ “ඔහුගේ පැවැත්ම” පමණි. “මම සිතමි. ඒ නිසා මම පවතිමි.” “මගේ පැවැත්ම මම සැක කරමි” කියද්දී ද සැක කරන්නට කෙනෙක් ඉන්නා නිසා එයින් ද ඔප්පු වන්නේ මම පවතිමි යන්න ය. ප්‍රතිඵලය වූ තම පැවැත්ම දකින සැකයට ද මනස මූලික ය.
මිනිස් මොළයක පවතින්නේ විද්‍යාව පැහැදිලි කරන සිනැප්සස්, ලොබොටොමි (HM වැනි මොළයේ සෛල විනාශය), ප්‍රෝටීන් හා ඉලෙක්ට්‍රෝඩ වැනි දෑ පමණක් ද? පරමාණු මට්ටමකින් සිද්ධ වන ප්‍රතික්‍රියාවන් පමණක් ද? අණූක හා Quarks සමූහයක මට්ටමකින් සිද්ධ වන නිරීක්ෂණය කළ හැකි ප්‍රතික්‍රියාවන් පමණක් ද? නැත්නම් සවිඥානය, සංජානනය, සම්ප්‍රජානනය, සහ චින්තනය යනාදිය ඇසට නොපෙනුන ද ප්‍රතිඵල දැකිය හැකි නිසා ඊටත් වැදගත්කම දිය යුතු ද?
මිනිසාගේ හැදියාව ජීවවිද්‍යා පදනමකින් පැහැදිලි කරලීමට ශාරීරික විද්‍යාවකින් ඩාර්වින් උත්සාහ ගනියි. ඩෙකාට් උත්සාහ ගන්නේ මනස ජීවවිද්‍යාවෙන් බැහැරක ලා තබන්නට ය. අපගේ “වානරත්වය” සලකා බලන පරිනාමවාදයේ දී මිනිසාගේ මුල්ම ඥාතියා වූ “වඳුරා” හා අනිකුත් සත්වයන් අධ්‍යයනය කෙරුණි. පැව්ලෝ විසින් හැදියාව ගැන ගෙන හැර පෑ විස්තර වලින් චර්යාව වෙනස් කරගත හැකි යයි ඔප්පු කරගන්නට පුළුවන්කම ලැබුණි.
මිනිසාගේ සෑම දෙයක්ම ජීවවිද්‍යාවෙන් පැහැදිලි කරන්නට ගොස් අපට ලැබෙන්නේ එය රසායන හා භෞතික විද්‍යා වලින් පැහැදිලි කිරීමක් ද? රසායනය හා භෞතික විද්‍යාවන් අණු වලට යාමෙන් සෑම සියළු දැයක්ම අණු වලින් පැහැදිලි කරත හැකි ද?
අණුවක වීජ කේන්ද්‍රීයව ඇති ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන කෙසේදැයි පහදාලන්නට ස්ටීවන් හා ම්ලොඩිනොව් සහායට ගන්නේ Quarksයන්නය. ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන සමන්විත වන්නේ Quarks වලින් ය. ඒවා වෙන් කරන්නට ගන්නා උත්සාහයේ දී ඒවා බැඳී ඉන්නට ගන්නා වෑයම වැඩි ය. එහෙයින් ඊට තනිවම පවතිනු නොහැකි ය. එහෙයින්ම නිදහස් Quark එකක් නිරීක්ෂණය කරනු ද නොහැකිය. එහි ස්වභාවය නිසාම දකින්නට හැක්කේ සමූහයක එකතුවකි. එකතුවක් දකින කල එහි එකක් ඇතැයි කිව හැකි ද? නැතැයි කිව නොහැකි ද? යමක් නොදැක එහි පැවැත්මක් ඇතැයි කිව හැකි ද? නැතහොත් සමූහයක් දැක එකක් ඇතැයි කියන්නේ නිරීක්ෂණයෙන් නොව තර්කයෙන් නොවන්නේ ද?
මොළයත් මනසත් හුදු භෞතික විද්‍යාවෙන් පමණක් පැහැදිලි කරගත හැකි යයි කිව්ව ද එය ආසන්නයටම පැමිණි කල එය ද නිරීක්ෂණයක් වෙයි ද?
ඔවුනට භෞතික විද්‍යාවෙන් සියල්ල ඔප්පු කර පෙන්වීමට නොහැකි වී ඇත් ද? නැතහොත් අවසානයේ ඔවුන් ද පැමිණෙන්නේ ඩෙකාට් ගේ “මා සිතමි, ඒ නිසා මා පවතිමි” වැන්නකට ද?
මධ්‍යම ස්නායු පද්ධතියට අනුව සවිඥානය හා පරාවර්තක චින්තනය ඇති මිනිස් මොළය පැහැදිලි කරත හැකිය. ශාරීරික පද්ධතියට අනුව ජීවවිද්‍යානුකූල වූ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පැහැදිලි කරත හැකිය. කාබන්, නයිට්‍රිජන්, ඔක්සිජන් වැනි අනූක භෞතික විද්‍යා දැනුමින් ජීවවිද්‍යාවේ සියළුම අවස්ථා පැහැදිලි කරත හැකිය. එහෙත් තවමත් අනූක භෞතික විද්‍යාවට ඥානය හටගන්නේ කොහොම ද යන්න පුරාතන වූ මනස උපයෝගී කර නොගෙන විස්තර කරන්නට නොහැකි ය.
මනස විචාරයෙන් පටන්ගත් මිනිසා හා විශ්වය ගවේෂණය අද විද්‍යාවෙන් පැහැදිලි කරගත්තා ද? නැතහොත් ඒ කටයුත්ත නැවතත් අවසන් වන්නේ මනසේ විචාරයට පැවරීමෙන් ද?
ප්‍රතිඵලය බලා එය ඇතැයි කියන්නට හැකියාව පමණින් හටගත් හැටි හා පවතින හැටි සියල්ල පැහැදිලි කරත හැකියාව භෞතික විද්‍යාවට දිය හැකි ද?
විචාරය නිමියේය.
සිතන්න යමක්: දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරන්න හැකි යයි කියන ඉහත දෙදෙනා ‘දෙවියන්’ යන වචනය පොතේ හැම තැනකම ලියා ඇත. මා සටහනේ මුළු විචාරය ගෙන යන්නේ දෙවියන් බැහැරලා ය. ඔවුනට සිද්ධ වී ඇත්තේ දෙවියන් බැහැරලා විශ්වය පැහැදිලි කරගන්න නොහැකියාව ද? නැත්නම් ඔවුන්ගේ අරමුණ වෙනෙකක් වී ද?

0 comments:
Post a Comment