Tuesday, April 30, 2013

සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories)

සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories) වත්මන් කාලය වන විට ‍ලෝක ප‍්‍රකට ආගමික නිර්මාණාංගයකි.චීන සහ
ජපන් බසින් කියැවී පසුව ලියැවී තිබෙන ඒ කතා පුද්ගලයන් ගණනාවක් විසින් ඉංග්‍රීසි බසට පෙරලා තිබීම අ‍‍පේ භාග්‍යයක්.සෙන් කතන්දර කියවන කලඑක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන්ට අනුව එහි අර්ථය,අගය,දැනීම වෙනස් වේ.යමෙකුට සෙන් කතන්දරයක් කියවූ විට හුදු කතා රසයක් හෝ ජීවන අත්දැකීමක් පමණක් දැනෙනු ඇත.තවත් කෙනෙකුට ඒ ඉම ඉක්මවු අධ්‍යාත්මික හරයක් ලැබෙනු ඇත.වි‍ටෙක අතිශය සියුම් ලෙස මනැස ක්‍රියාත්මක කරවන හෝ පුබුදු කරවන තේමාවක් හමුවෙනු ඇති.හිටි ගමන් එසේ සිදුවීම 'ක්ෂණික අවබෝධය' යන අර්ථය දෙන 'ස‍තෝරි'(satori)යැයි ජපන් බසින් හදුන්වයි.ඉංග්‍රීසි බසින් එය අර්ථවත් වන්නේ 'sudden Awaking' යනුවෙනි.

සෙන් අරුත :- "සෙන් "යන්නෙහි ආදි අරුත ලෙස සලකනුයේ 'ධ්‍යාන'හෙවත් දැහැන යන්නයි.එය චීන බසින් ලියැවී ඇත්තේ චාන් (chan)යනුවෙනි.සංස්කෘතීකබසින් 'ධ්‍යාන'(dyana)වී ඇති බවත් පසුව කටට හුරුවන අයුරින් සෙන් (zen)වී ඇති බවත් ‍පෙනේ.මෙසේ බලන කල සෙන් යන්නෙහි 'ප්‍රබුද්ධත්වය','ආත්මාවබෝධය','හදුනා ගැනීම','දැහැන',යන සකල විධ අරුත් ගබඩා වී ඇති බව හැඟේ.
Zen mong1.jpg

සෙන් නියමුවා:- 'සෙන්'පිළිබඳ ලියැවී තිබෙන පොත පත අනුව ප්‍රථම සෙන් නියමුවා ලෙස පිළිගනු ලබන්නේ හයවන සියවසේදී ඉන්දියාවේ සිට චීනයට පැමිණියායැයි,සැලකෙන ‍බෝධිධර්මතුමාය,(Bodhidharma).චීන ගුරුතුමෙකු වන ඩොගෙන්(Dogen)විසින් 1043දී ලියන ලදැයී කියන චරිතාපදානයට අනුව ‍බෝධිධර්මතුමා චිනයේ නව අවුරුද්දක් පමණ වූ කාලයක් ගත කර ඇති බව පෙනේ.තවත් සමහරුන්ගේ මතය වන්නේ සෙන් යනු බුද්ධ කාලය වන ක්‍රි.පු 500ටත් ඉහත පටන්ම පැව‍තෙන ඉගැන්වීමක් බවයි.සෙන් ඉගැන්වීමේදී ප්‍රධාන සෙන් කතන්දර වන්නේ මනැසයි.
සෙන් කතාවකදී හැම විටකම පාහේ අපට සංවාදාත්මක සිද්ධියක් හෝ අනපේක්ෂිත සිද්ධියක් හමුවෙනවා ඇති.බොහෝ අවස්ථාවලදී එම අවස්ථාව වටහා ගත යුත්තේ සෙන් ගුරුතුමෙකුගේ හෙවත් සෙන්ආචාර්යවරයෙකුගේ අත්දැකීමක් වශයෙනි.සෙන් කථා වලදී අපට විටෙක මුණ ගැසෙන්නේ පූජකවරයෙකි.තවත් විටෙක සමාන්‍ය මිනිසෙක් .තවත් විටෙක ‍‍‍‍බේබද්දෙක් හෝ සෙබළෙක් ,සොරදෙටුවෙක් හෝ රජතුමෙකු ව්ව්ධාකාර චරිත ද මුණ ගැසේ.සමහරු සෙන් ගුරුවරුන් හමුවට එන්නේ ඔවුන්ට සරදම් කොට යන්නටය.එහෙත් ඔවුන් පෙරලා යන්නේකිසියම් ජිවිතාවබෝධයක් ලැබගෙනයි. සෙන් කියවා නිහඬ බව විඳගත් කෙනෙකුට පෙරලා තවත් අයටද කියා දිය හැකියි.ඒ අතින් බලන කල සෙන් කතා සදාතනිත 'බණ කතා'විශේෂයක්වශයෙන්ද සලකන්නට පුළුවන්.සෙන් කතන්දර දෙකක් පහත දක්වා ඇති අතර ඉන් සෙන් කථාවල සුවි‍ශේෂී බව අපට වටහා ගත හැකියි.

තේ කෝප්පය:-

මෙයි ජි සමයේදී (1868-1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන්(Nan in)හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා.එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනී‍‍මේ අරමුණ ඇතිවයි.නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා.එතුමා තේ පිළියෙල කර ‍තේ වත්කර ගෙන ගියා.තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තව දුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ?
"තේ කෝප්පය තේ වලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?"
ඊට පිළිතුරු වශයෙන් සෙන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ?
"මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්‍,ඔබතුමාගේ යම් යම් මත වලින් අදහස් වලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ.දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට."

හඳ හොරා ගත නොහැකියි:-

සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා.එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා.ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා.රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.
"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා

"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ.මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".
තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා.හොරාට මහ පුදුමයි.හොරා ඇඳුම් අරන් පැන දිව්වා.රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා."දුප්පතා" ඔහු කල්පනා කළා.
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".

බුදුන් සිර අඩස්සියේ


වෙළෙන්දෙක් රෙදි කච්චි පනහක් රැගෙන වෙළඳාම සඳහා පිටත් වූයේය.

අතරමගදී ඔහුට තද නිදිමතක් දැනුණේය. විසල් හිටි ගල් පිළිම වහන්සේ නමක් අසල හේ නින්දට වැටුණේය. නිදි සුව විඳ අවදිව බැලූ විට රෙදි තොගය අතුරුදන් වී තිබිණි. හේ වහාම පොලිසීයට පැමිණිලි කළේය. දිගින් දිගටම පරීක්ෂණ පැවැත්විණි. පොලීසිය විසින් පැමිණිල්ල උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. උගත් විනිසුරු තුමා,

''එකත් එකටම ඔය රෙදි හොරකම් කරන්න ඇත්තෙ බුදු පිළිම වහන්සේම වෙන්න ඕනෑ. උන් වහන්සේට වටිනවා මගීන්ගේ දේපොළ ආරක්ෂා කරල දෙන්න. නමුත් ඒ වැඩේ කරල නැහැ. ඒ නිසා ගල් බුදුපිළිම වහන්සේ හිර අඩස්සියට ගන්න මම නියෝග කරනවා'' යැයි කීය.

වියත් විනිසුරුතුමානන්ගේ නියෝගය පරිදි පොලිස් නිලධාරීහු යුක්තිය පසිඳලනු වස් ගල් බුදුරුව අත් අඩංගුවට ගෙන උසාවිය වෙත ගෙන ආහ. ඒ පසුපස බුදුරුවට දෙන දඬුවම දැනගනු රිසියෙන් මහා සේනාවක් කෑ ගසමින් සිනාසෙමින් උසාවියට පැමිණියහ. සෙනග දුටු උගත් විනිසුරුතුමාණෝ,

''මේ සෙනගට උසාවියට ඇවිත් මේ විදියට හිනාවෙන්න කෑගහන්න වටිනවද? අයිතියක් තිබෙනවද? මාගේ අණසක පිරි මේ අති පාරිශුද්ධ යුක්තියෙහි ක්ෂේම භූමියට අපහාස කිරීමේ වරදට ඔබලා හැම දෙනාම හිර ගෙට නියම කරනවා'' යයි ප්‍රකාශ කළේය. 

රැස්ව හුන් සියළු දෙනා බිම වැඳ වැතිර හිඳ සමාව අයැද සිටියහ.

''මම යුක්තියේත් සාධාරණත්වයේත් සංකේතයයි. මං ඔබලාට අනුකම්පා කොට දඩයක් නියම කරනවා. මේ සියළු දෙනාම රෙදි කච්චිය බැගින් උසාවියට ගේන්න ඕනැ. දින තුනක් ඇතුළත එසේ නොකළහොත් හිරගෙට යවනවා'' යි විනිසුරුතුමා අණ කළේය. 

මිනිසුන් රැගෙන ආ රෙදි කච්චි අතුරින් එකක් තමාගෙ බව වෙළෙන්දා හැඳින ගත් නිසා හොරා කවරකු දැයි පහසුවෙන් අල්ලාගන්නා ලදී. අනිත් මිනිසුන්ගේ රෙදි කච්චි ආපසු දෙනු ලැබිණ.

අපායෙයි දිව්‍යලෝකෙයි දොරටු


නොබුෂිගෙ නමැති සොල්දාදුවෙක් හයිකුන් හිමියන් වෙත පැමිණ මෙසේ ඇසීය.

''ස්වාමිනී අපායයි දිව්‍යලෝකයයි කියල දෙකක් ඇත්තටම තියෙනවද''

හයිකුන් තමා කවරෙක්දැයි ඔහුගෙන් විචාළේය. 

''මම සමුරායි කෙනෙක්'' යි හේ පිළිතුරු දුන්නේය.

''ඔබ සොල්දාදුවෙක්!'' යි හයිකුන් පුදුමය පළකළේය. ''මොන මෝඩ ප්‍රභූවරයෙක් ද තමුසෙ වගේ සොල්දාදුවෙකු පත් කරගන්නේ? තමුසෙගෙ මූණ හරියට හිඟන්නෙකුගෙ මූණ වගෙයි.''

මේ වචන ඇසූ සැණින් නොබුෂිගෙ බෙහෙවින් කෝපයට පත්වී කඩුව කොපුවෙන් එළියට ඇදගත්තේය. එහෙත් හයිකුන් නොනවත්වාම කතා කරගෙන ගියේය.

''හා...... එහෙනම් තමුසෙට කඩුවකුත් තියෙනවා. තමුසෙගෙ කඩුව මගෙ බෙල්ල කපන්න තරම් මුවාත් නැතුව ඇති''

නොබුෂිගෙ ගේ කඩුව මුළුමනින්ම එළියට ඇදෙත්ම,

''ඔන්න…. ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර'' යි හයිකුන් පැවසීය.

මේ වචන පිටවෙනවාත් සමගම යථා තත්වය අවබෝධ කොට ගත් සමුරායි වරයා කඩුව නැවතත් කොපුවේ දමාගෙන නමස්කාර කළේය. එවිට,

''ඔය ඇරෙන්නෙ දිව්‍යලෝකයේ දොර'' යි හයිකුන්ගේ මුවින් නිකුත් විය.

චීන කවියක් ලියන හැටි


ජපානයේ සුප්‍රසිද්ධ කවියකුගෙන් චීන කවියක් ලියන ආකරය ගැන අසනු ලැබීය.

''චීන කවියක පද හතරක් තියෙනවා'' ඔහු විස්තර පටන් ගත්තේය.

''පළමු වැනි පදයේ ආරම්භක අදහස දක්වනවා. දෙවැන්න එහිම කොටසක්. තුන්වැනි පදය අලුත්ම අදහසක් පටන් ගන්නවා. හතරවැන්නෙන් මේ අදහස් සේරම එකට ඈඳෙනවා. මෙය පැහැදිලි කරන ජපන් ගීතයක් මෙන්න:

ක්යෝතෝවේ සේද වෙළෙඳුට - දුලා දෙන්නෙක් ඉන්නවා
වැඩිමලා විසි හැවිරිදියි - බාලයා අටළොස් වියේ
මිනීමරන්නේ සොල්දාදුවන් - කඩු පහර දීලයි
මේ කෙල්ලෝ නම් එය කරන්නෙ- නෙත් පහර දීලයි”

ජෝසුගේ ZEN (Joshu's Zen)

ජෝසු දිගු කාලයක් ZEN ඉගැන්වූ ගුරුවරයෙක්. වරක් ශිෂ්යයෙක් පැමිණ ඔහුගෙන් මෙසේ විමසුවා.

"මනසේ කිසිවක් නැතිනම් මම මොකක්ද කරන්න ඕනෙ?"

ජෝසු: එලියට ඇදල දාන්න

ශිෂ්යයා: ඒ වුනාට එලියට ඇදල දාන්න මොකුත් නෑනෙ?

ජෝසු: එහෙනම් තියාගන්න

ඉරණම (Destiny)

වරක් ජපන් ජනරාල් වරයකුට සටනකට යෑමට සිදුවුනා. නමුත් ඔහුට සිටියේ ඉතා කුඩා සේනාවක්. මේ නිසා සටන ජයගන්නට හැකි වේ යැයි සේනාව විස්වාස කලේ නැහැ.

ඔහු සේනාව කැදවුවා. කාසියක් ගෙන
"හිස වැටුනොත් අපි සටන දිනනවා, නැත්න්ම් පරදිනවා. අපේ ඉරණම කාසියෙන් කියාවි" මෙසේ පවසා ඔහු කාසිය උඩ දැමුවා.
කාසියේ හිස පැත්ත වැටුනා. සේනාව උද්දාමයට පත් උනා. සටනට හොදින් මුහුන දී සතුරන් පරාජය කොට ජය ගත්තා.

ස්ටන ජය ගෙන එන අතර ලුතිනන් මෙසේ ඇසුවා
"ඉරණම කාටවත් වෙනස් කරන්න බැහැ නේද?"
"ඔබ හරි" යැයි පවසා ජනරාල්වරයා ලුතිනන්වරයාට කාසිය පෙන්නුවා.
කාසියේ දෙපැත්තේම තිබුනේ හිසයි.

බෙල් ගුරැතුමා (Bell Teacher)

නවක සිසුවෙක් ZEN ඉගෙන ගැනීමට පැමිනියා. ඔහු ගුරුතුමා ලගට ගොස් තමන්ගේ පුහුනුවීමට සුදානම් වන්නේ කෙසේදැයි විමසුවා.

"මං බෙල් එකක් යැයි සිතන්න"
"සෙමින් තට්ටු කර විට කුඩා හඩක් නැගෙනවා"
"හයියෙන් තට්ටු කල විට දෝංකාර දෙන විසාල හඩක් නැගෙනවා"
යැයි ගුරුතුමා පැවසුවා.


මොකුගෙන්ගේ සිනාසීම (A Smile in His Lifetime)

මොකුගෙන් කිසිමදවසක සිනාසුන කෙනෙක් නොව්. ඔහු සිනසුනේ මරනයට පත්වුන දවසේ විතරයි. ඔහු මරනයට ආසන්න අවස්තාවේ ඔහුගේ හොදම ගෝලයන්ට කතා කරා.

"ZEN නිවරදිව අර්ථ කථනය කරන කෙනාට මාගේ චීවරය සහ පාත්තරය හිමිවනවා" යැයි පැවසුවා.

හැමෝම මොකුගෙන්ගේ මුහුන දෙස වික්ෂිප්තව බලා සිටියා. කවුරැවත් පිලිතුරැ දුන්නේ නෑ.

මොකුගෙන්ට එන්චෝ නැමැති ගෝලයෙක් සිටියා. ඔහු ඉදිරියට පැමින බෙහෙත් භාජනය අගලක් පමන එහාට කරා. මෙය ඔහුගේ පිලිතුර උනා.

මොකුගෙන්ගේ මුහුන දැඩි වුනා. "එචිචරද තේරුනේ?" යැයි විමසුවා.

එන්චෝ නැවත පැමින බෙහෙත් භාජනය පෙර තිබූ තැනින් තැබුවා.

ලස්සන හිනාවක් මොකුගෙන්ගේ මුහුනින් නැගුනා.
"මගඩියා. මගෙත් එක්ක අවුරැදු දහයක් වැඩ කරලත් මගේ සම්පුර්න ධර්මය දැකල නෑ. මේ චීවරය සහ පාත්තරය ගන්න. එය අයිති ඔබටයි" යැයි පැවසුවා.

-හෙලවෙන්නේ කුමක්ද?-


සුළඟෙහි ලේලෙමින් තිබු කොඩියක් ගැන දෙදෙනෙක් වාදයක පැටලී සිටියහ.
"ඇත්තටම මේ සෙලවෙන්නේ හුලඟයි, කොඩිය නෙවෙයි." එක් අයෙක් කීය.
"නැහැ, හෙලවෙන්නේ කොඩියයි." අනෙකා වාද කළේය.
එතනින් යමින් සිටි සෙන් හිමි නමක් වාදයට බාධා කළහ.
"දරුවනේ, හුළඟවත් කොඩියවත් නෙමෙයි නුබලගේ හිතයි සෙලවෙන්නේ..."


-ශුන්‍යතව හා කෝප්පය-


තරුණ සෙන් සිසුවෙක් වූ යමොකෝ ටෙෂු, විවිධ ගුරුවරු වෙත ගොස් අවසානයේ ගොතොකු'හි දොකුඔන් හිමි වෙත පැමිණියේය. 
තම කැපවීම හා උද්‍යෝගය ප්‍රකට කරනු සඳහා ඔහු මෙසේ කීය.
"අවසානයේදී මනස, බුදුන් සහ සියලු සචේතනික වස්තුන් කිසිවක් පවතින්නේ නෑ. සංසිද්ධිවල සැබෑ ස්වභාවය තමයි ශුන්‍යතාව. කිසිඳු අවබෝධ කරගැනීමක් නැහැ. ආර්ය හෝ අනාර්ය බවක් නැහැ. දීමට හෝ ගැනීමට කියා දෙයකුත් නැහැ..."
දොකුඔන් හිමි නිහඬව තරුණයාගේ කතාවට කන්දී සිටියේ පයිප්පයෙන් දුම් උරමිනි. ඒ කතාව අවසන් වූ පසුව හෙතෙම තම පයිප්පය තරුණ සිසුවා වෙත වරෙන් දමා ගැසුවේය.
යමොකෝ ටෙෂු එයින් තදින් කිපුනේය.
"කිසිවක් නැතිනම් ඔය කේන්තිය ආවේ කොහෙන්ද?" දොකුඔන් හිමි විචාළේය.

-හෙට දවස-


ජපන් යුද සෙබළෙකු තම සතුරු හමුදා කණ්ඩායම අතට හසුවී සිරගත විය. එදින රාත්‍රියේ ඔහුට නින්ද කර එළැඹීම ඉතා අපහසු කටයුත්තක් විය. පසු දින කෙරෙන ප්‍රශ්න කිරීම්, එයින් නොනැවතී කෙරෙන තර්ජන, පහරදීම් ආදිය ගැන සිතද්දී ඔහුගේ සිත සැලෙන්නට පටන්ගත. 
එක්වරම ඔහුට සෙන් භික්ෂුවකගේ වදන් කිහිපයක් සිහිවූයේ අහම්බෙන් මෙනි.
"හෙට දවස සත්‍ය වශයෙන්ම පවතින දෙයක් නෙමෙයි, ඒක මුලාවක්. එකම යථාර්තය නම් මේ මොහොතයි..."
එයින්ම සෙබළා සුවයෙන් නිදාගත්තේය.

ඒකත් එහෙමද ?


හකුයින් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ඔහුගේ බ්‍රහ්මචාරී ජීවිතය නිසාම ඔහු අතිශයින් ජනාදරයට පත්වී සිටියා ඔහු වාසය කල ආරාමය පිහිටා තිබුනේ ගැමි නිවසකට යාබදවයි එම නිවසේ ලස්සන ජපන් තරුණියක් තම දෙමව්පියන් සමගින් වාසය කලා

ටික කලක් ගතවෙත්ම තරුණිය හදිසියේම ගැබ්ගෙන ඇතිබව දෙමව්පියන් දැනගත්තා ඔවුන් දැඩිසේ කෝප උනා එහෙත් තරුණිය දරුවාගේ පියා කවුද යන්න හෙලි කලේ නැහැ, අවසානයේ ඇය නූපන් දරුවාගේ පියා හකුයින් බව ප්‍රකාශකලා

දෙමව්පියන්ට අදහා ගැනීමට නොහැකි උනා ගමේ ගරු බුහුමානයට පත්වූ හකුයින් මෙයට වගකිවයුතු බව හෙලිවූවිට ඔවුන් කේන්තියෙන් හකුයින් හමුවීමට දිවගොස් බැණ වදින්නට උනා සියල්ල සාවදානව අසාසිටි හකුයින් අවසානයේ

"ඒකත් එහෙමද" යනුවෙන් අසා සිටියා

කුඩා දරුවා ඉපදීමෙන් පසු හකුයින්ගේ භාරයට පත්කරනු ලැබුවා ඒ වනවිට හකුයින් සතුවූ කීර්තිය නැතිවී තිබුනා එහෙත් හකුයින් අසල් වැසියන්ගෙන් ඉල්ලා ගනිමින් කුඩා දරුවාට අවශය සියලුම දේ ලබා දී දරුවා පෝශණය කලා

අවුරුද්දක් ගතවීමෙන් පසු තරුණියට තවදුරටත් සත්ය සගවා ඉන්න බැරි උනා ඇය තම දෙමව්පියන්ට තම දරුවාගේ නියම පියා මාළු වෙළද සැලේ තරුණ සේවකයෙකු බව ප්‍රකාශකලා දෙමව්පියන් තමන් කල වැරැද්ද ගැන බොහෝ පසුතැවිලි උනා ඔවුන් වහාම හකුයින් හමුවීමට දිවගියා

හකුයින් හමුවී තමන්ට සමාව දෙන ලෙසත් දරුවා නැවත භාර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කලා හකුයින්


"ඒකත් එහෙමද"  කියමින් දරුවා නැවත භාර දුන්නා.


1 comments:

 
Copyright © . ප්‍රවාද - Empty Mind - නිදහස් මනස - Posts · Comments
· Powered by Blogger